‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’ විග්‍රහ කෙරේ
2024-07-21 18:04:29
Share with:

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’ විග්‍රහ කෙරේ.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතාගේ නව චින්තනය, නව සංකල්ප හා නව තීරණ ගැඹුරු ලෙස අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ යුතු බව එමගින් ප්‍රකාශ කර ඇත. එනම්, නව සංවර්ධන චින්තනය පූර්ණ මෙන්ම නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු වේ. සමාජයීය නිෂ්පාදන ඵලදායිතාව ද තවදුරටත් නිදහසේ වැඩිදියුණු වීම තහවුරු කළ යුතු අතර සමාජයීය ප්‍රබෝධය දිරිමත් කළ යුතු ය. 

දෙස් විදෙස් සමස්තයන් සම්බන්ධීකරණය කරමින් ආර්ථික පද්ධතියේ ප්‍රතිසංස්කරණය ප්‍රමුඛ සමාජ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කිරීම මෙන්ම ජනතා සුබසාධනය ප්‍රමුඛ අරමුණ හා ඉලක්කය ලෙස ගෙන කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වේ. එසේම ප්‍රතිසංස්කරණයේ සැබෑ ප්‍රතිඵලය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් නිෂ්පාදන සබඳතා හා ඵලදායිතාව, ආකෘතිය හා ආර්ථීක පදනම, ජාතික පරිපාලනය සහ සමාජ සංවර්ධනය අතර ගැලපීම ප්‍රවර්ධනය කිරීම මගින් චීන මාදිලියේ නවීකරණය සඳහා ප්‍රබල ශක්තිය ලබාදීම අපේක්ෂා කෙරෙන බව ද පෙන්වා දී ඇත.  

2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම අවසන් කරමින් චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය තවදුරටත් ප්‍රවර්ධනය කර, රටේ පාලන ක්‍රමවේදයේ සහ එහි ශක්‍යතාවේ නවීකරණය මූලික වශයෙන් සාක්ෂත් කර, සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම සියවසේ මැද භාගය වන විට සෑම අතින්ම බලවත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනම ද එමගින් සපයනු ඇත.

උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් සමාජවාදි සංස්කෘතික රටක් ගොඩනැගීම, ජනජීවිත ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම, සුන්දර චීනය ගොඩනැගීම, වඩාත් උසස් මට්ටමේ සුරක්ෂිත චීනය ගොඩනැගීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව මට්ටම හා දිගුකාලීන පරිපාලන  හැකියාව ඉහළ නංවා ගැනීම යන කරුණුවලට අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතුය.   

ඉකුත් සඳහන් ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී චීන මහජන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු බව ද මෙම තීරණයේ සඳහන් කර ඇත.

උසස් මට්ටමේ සමාජවාදී වෙළඳ ආර්ථික පද්ධතිය ගොඩනැගීම සඳහා වෙළඳපොළ යාන්ත්‍රණය මනා ලෙස ක්‍රියාත්මක කර, වඩා සාධාරණ හා ගතික වෙළඳපොළ පරිසරයක් නිර්මාණය කළ යුතුය.

සමාජයේ අභ්‍යන්තර ශක්තිය සහ නව ජීව ශක්තිය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව ද එම ‘තීරණයේ’දී අවධාරණය කර ඇත.

ජනසතු ආර්ථිකය තහවුරු කිරීමෙහි ස්ථීරව නියැලී, පෞද්ගලික ආර්ථිකයේ වර්ධනයට සහාය දී එය මෙහෙයවිය යුතුය. රට තුළ ඒකීය වෙළඳපොළක් ගොඩනගමින් හුවමාරු පද්ධතිය සම්පූර්ණ කළ යුතු අතර, අංගසම්පූර්ණ දේශීය අවශ්‍යතා පද්ධතිය බිහිකිරීම කඩිනම් කළ යුතු ය. වෙළඳ ආර්ථිකයේ මූලික ක්‍රමවේද හා වෙළඳපොළට පිවිසීම සඳහා අවසර දීමේ යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතු ය.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ආර්ථික සංවර්ධන යාන්ත්‍රණය හා පද්ධතිය ද පූර්ණ ලෙස ප්‍රවර්ධනය කළ යුතු වේ.  

විවිධ ප්‍රදේශවල තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ යාන්ත්‍රණය හා පද්ධතිය පරිපූර්ණ කළ යුතු ය. එසේම, නව ගුණාත්මක ඵලදායිතාවට වඩාත් අනුකූල වන නිෂ්පාදන සබඳතාවක් බිහිකිරීම කඩිනම් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

සැබෑ ආර්ථිකය හා ඩිජිටල් ආර්ථිකය මනාව සම්මිශ්‍රණය කෙරෙන පද්ධතියක් ද පරිපූර්ණත්වයට පත් කළ යුතු ය. 

සේවා කර්මාන්ත පද්ධතිය හා නවීකරණ යටිතල පහසුකම් ඉදිකිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කළ යුතු අතර, කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව හා ආරක්ෂණ මට්ටම ඉහළ නංවාලීමට කටයුතු කළ යුතු බව ද එම තීරණයේ දැක්වේ. 

පූර්ණ නවෝත්පාදන යාන්ත්‍රණය ගොඩනැගීමට සහයෝගය දිය යුතු ය.

විද්‍යා තාක්ෂණික සංවර්ධනය හා අධ්‍යාපනය මගින් රටේ පුනර්ජීවන ඉටු කිරීමේ උපායමාර්ගය, නිපුණතා බිහි කිරීම තුළින් රට ශක්තිමත් කිරීමේ උපායමාර්ගය සහ නවෝත්පාදන ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගය යන ත්‍රිත්ව ක්‍රමවේද  ක්‍රියාත්මක කළ යුතු ය. එමගින් රටේ නවෝත්පාදන පද්ධතියේ සමස්ත ඵලදායිතාව ඉහළ නංවා ගැනෙනු ඇත. එමෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුතු අධ්‍යාපන පද්ධතිය ගොඩනැගීම ද කඩිනම් කළ යුතු ය. 

මීට අමතරව, විද්‍යා තාක්ෂණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ තහවුරු කළ යුතු වේ. ලෝක තාක්ෂණික ක්ෂේත්‍රයන්හි මුල් පෙළේ රැඳීසිටීම සඳහාත්, ආර්ථිකය මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවලට විසඳුම් දීම සඳහාත්, රටේ වැදගත් අවශ්‍යතා සහ ජනතාවගේ සෞඛ්‍යසම්පන්නභාවය සහතික කිරීම සඳහාත්, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සංවිධාන යාන්ත්‍රණය යහපත් කරමින් කේන්ද්‍රීය තාක්ෂණ පර්යේෂණ ජයග්‍රහණ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ ද තහවුරු  කළ යුතු ය.

ජාතික මට්ටමේ වැදගත් විද්‍යා හා තාක්ෂණ මෙහෙයුම් හා එම අංශයේ මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය සහාය ශක්තිමත් කිරීමට ද පියවර ගත යුතු වේ.  

සමස්ත පරිපාලන පද්ධතිය පරිපූර්ණ කරමින්, මුදල් හා බදු සහ මූල්‍ය සේවා ඇතුළු වැදගත් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. එමෙන්ම නාගරික ග්‍රාමීය ප්‍රදේශ මිශ්‍ර කරමින් සංවර්ධනය කිරීමේදී නවීන කාර්මිකකරණය, නවීන නගරීකරණය හා ගම්බද ප්‍රදේශවල පූර්ණ පුනර්ජීවනය සම්බන්ධීකරණය කරමින් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ද  එම තීරණය අවධාරණය කරයි.  නාගරික හා ග්‍රාමීය පරතරය අවම කරමින් එම ප්‍රදේශවල පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා, නාගරික හා ග්‍රාමීය මිශ්‍ර සංවර්ධන සැලසුම් සහතික කර, ඉදිකිරීම් හා පාලන හැකියා ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.  

විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තියෙහි නියැලී සිටීම ද අත්‍යවශ්‍ය කරුණකි. විවෘතභාවය මගින් ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනයට ක්‍රියා කළ යුතුය. රටේ සුවිශාල වෙළඳපොළ වාසි මත ජාත්‍යන්තර සහයෝගතා පුළුල් කිරීමේදී සිය විවෘතභාවයේ හැකියාව නංවාලීමට උත්සාහ කළ යුතු බව ද එම තීරණය පෙන්වා දී තිබේ.

‘එකම රට ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියේ වාසි ප්‍රයෝජනයට ගනිමින්, ජාත්‍යන්තර මුල්‍ය සේවා, නාවික ප්‍රවාහනය, ජාත්‍යන්තර වෙළඳාම යන අංශයන්ට අදාලව හොංකොං විශේෂ පරිපාලන කලාපය සතු ගෝලීය ප්‍රමුඛ ස්ථානය තහවුරු කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම එම කලාපය හා මැ‍කව් විශේෂ පරිපාලන කලාපය ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රවීණයන් එක්රැස් වන ස්ථානයක් ලෙස ගොඩනැගීමට සහයෝගය දැක්විය යුතුය. එම කලාප දෙක රටේ විවෘතභාවය තහවුරු කිරීමේ දී ඉහළ කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ආර්ථික හා සංස්කෘතික හුවමාරු ක්‍රමවේදය හා ප්‍රතිපත්ති වැඩිදියුණු කරමින්, මිශ්‍ර සංවර්ධන ක්‍රමවේදය පුළුල් ලෙස ඉදිරියට රැගෙන යා යුතුය. 

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අයත් විද්‍යා තාක්ෂණ නවෝත්පාදන සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, බලශක්තිය, ‍බදු සේවා, මූල්‍ය සේවා සහ ආපදා කටයුතු යනාදී ක්ෂේත්‍රවල බහුපාර්ශ්වික සහයෝගතා පිළිබඳ වේදිකා සංවර්ධනය පුළුල් කළ යුතු බව ද එම තීරණය ප්‍රකාශ කරයි.

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදීභාවය සහතික කළ යුතු ය.

එසේම, ජනතාව සැබවින්ම රටේ හිමිකරුවන් බවට පත්කිරීමේ කර්තව්‍යය ද දිරිගැන්විය යුතු වේ. ප්‍රජාතන්ත්‍රවාදී උපදේශන යාන්ත්‍රණය පූර්ණ ලෙස ක්‍රියාවට නංවා එම කාර්ය පද්ධතිය හා උපදේශන ක්‍රමවේද  පුළුල් කිරීමට ද පියවර ගත යුතු බව ද තීරණයේ දක්වා ඇත.

චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිමය පාලන පද්ධතිය සම්පූර්ණ කිරීම ද අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, නීති සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ තහවුරු කළ යුතු අතර නීත්‍යනුකූලව පරිපාලන කටයුතු කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය. යුක්තිය මෙන්ම සාධාරණත්වයේ නීති ක්‍රියාත්මක කරන අධිකරණ යන්ත්‍රණය හා පද්ධතිය ද අංගසම්පූර්ණ කළ යුතුය. නිවැරදි මානව හිමිකම් සංකල්පය අනුගමනය කරමින් මානව හිමිකම් අධිකරණයේ කාර්යභාරය තහවුරු කළ යුතු බව ද මෙම තීරණයෙන් අවධාරණය කෙරේ.    

මීට අමතරව, සංස්කෘතික යාන්ත්‍රණය හා එම පද්ධතියේ ප්‍රතිසංස්කරණ ද තහවුරු කළ යුතු ය. 

සමාජවාදී දියුණු සංස්කෘතිය සංවර්ධනය කර විප්ලවීය සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් චීන ජාතියේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය ඉදිරියට පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. තොරතුරු තාක්ෂණයේ වේගවත් සංවර්ධන ප්‍රවණතාවට අනුකූලව සංස්කෘතික ශිල්පීන් විශාල පිරිසක් පෝෂණය කළ යුතු ය.   

ජනජීවිතවල ගුණාත්මකභාවය සහතික කිරීම හා යහපත් කිරීමේ යාන්ත්‍රණය හා එම පද්ධතිය පරිපූර්ණත්වයට පත් කළ යුතු වේ. 

ආදායම් බෙදාහැරීමේ පද්ධතිය අංගසම්පූර්ණ කරමින් එම පටිපාටිය සහ ධනය රැස්කිරීමේ යාන්ත්‍රණය ප්‍රමිතිගත කළ යුතු ය. එසේම අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල ආදායම ඵලදායී ලෙස වැඩි කරමින් මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම්වල පරිමාණය ව්‍යාප්ත කර අධික ආදායම් සාධාරණ ලෙස සකස් කළ හැකි පද්ධතියක් බිහිකිරීම ද මෙහිලා අතිශය වැදගත් වේ. රැකියා නියුක්තිය පිළිබඳ ප්‍රතිපත්ති සහතික කරමින් සමස්ත සමාජයීය ආරක්ෂණ පද්ධතිය අංගසම්පූර්ණ කළ යුතු ය. වැඩිහිටි සත්කාර හා එම කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා යාන්ත්‍රණය ද පූර්ණ වශයෙන් සංවර්ධනය කළ යුතු බව ප්‍රතිසංස්කරණ තීරණයෙන් අවධාරණය කෙරේ.

ජෛව ශිෂ්ටාචාර පද්ධතිය පරිපූර්ණ කිරීම ද රටේ ප්‍රමුඛ කාර්යභාරයකි. ඒ සඳහා කාබන් පරිභෝජනය හා පරිසර දූෂණය අඩු කිරීම හා හරිතකරණය සමගින් රටේ සංවර්ධනය ඒකීයත්වයෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතු වේ. දේශගුණික විපර්යාසයන්ට සක්‍රියව මුහුණ දෙමින් ‘නිල්වන් ජලය හා කඳුකරය ප්‍රාග්ධනය නිර්මාණය කරයි’ යන සංකල්පය හා බැඳුණු ව්‍යාපෘති මාලාව සම්පූර්ණ කිරීම ද කඩිනම් කළ යුතුය.

රටේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකායන නායකත්වයෙහි නියැලී සිටිය යුතුය. මෙහිදී පක්ෂයේ සංවර්ධන ක්‍රමික ප්‍රතිසංස්කරණය මෙන්ම අභ්‍යන්තර පවිත්‍රතාව හා දූෂණ විරෝධී අරගලය ගැඹුරින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ද එම තීරණය පෙන්වා දෙයි.

විදේශ කටයුතුවලදී  චීනය ස්වාධීන සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති‍යෙහි එල්බ සිටිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවේ ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.  එසේම ගෝලීය සංවර්ධන, ගෝලීය ආරක්ෂක හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන මුලපිරුම් ත්‍රිත්වය ක්‍රියාවට නංවමින් රටේ ස්වාධිපත්‍යය, සුරක්ෂිතතාව හා සංවර්ධන අයිතීන් ස්ථිර ලෙස ආරක්ෂා කළ යුතුය. එමගින් ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම හා චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා යහපත් බාහිර පරිසරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද එම තීරණය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම