‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’ පිළිබඳ චීන ජනපතිගෙන් අර්ථකථනයක්
2024-07-21 18:12:50
Share with:

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අර්ථකථනය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය වෙත ඔහු එම විග්‍රහය ඉදිරිපත් කළේය.

සර්වාකාරයෙන් ශක්තිමත් නවීන සමාජවාදී රටක් ගොඩනගමින් ‘දෙවැනි සියවස් ඉලක්ක’ සාක්ෂාත් කරගැනීම සහ චීන මාදිලියේ නවීකරණයෙන් චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම, ර‍ටේ කේන්ද්‍රීය මෙහෙයුම බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය තහවුරු කර ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එම ‍කොංග්‍රසය උපායමාර්ගික විධිවිධාන සලසා ඇත. ඒවා ක්‍රියාවට නැංවීමේ දී ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 

වර්තමානයේ පවා, රටේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීමේ දී පවතින ප්‍රමුඛ ගැටලුව වන්නේ සංවර්ධනයේ අසමතුලිතභාවය හා ප්‍රමාණවත් නොවීමයි. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීමෙන් මීට අදාළ ආයතනික හා යාන්ත්‍රණමය ගැටලු විසඳිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, පවතින අවදානම් හා අභියෝග සක්‍රිය ලෙස මැඩපැවැත්වීමටත්, උත්සන්න වන ජාත්‍යන්තර තරඟකාරිත්වය තුළ උපායමාර්ගික මුලපිරීම දිනා ගැනීමටත් ප්‍රතිසංස්කරණ මැනැවින් තහවුරු කළ යුතු බව ෂී ජින් පිං මහතා කියාසිටී.


වසර 2035 වන විට මූලික වශයෙන් සමාජවාදී නවීකරණය සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කයට අනුව, ඉදිරි වසර පහ තුළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර ක්‍රියාවට නංවන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත. මේ, ඒ සම්බන්ධයෙන් ඔහු කළ විග්‍රහය යි. 

මෙම තීරණය උසස් මට්ටමේ සමාජවාදී වෙළඳාපොළ ආර්ථික පද්ධතියක් ගොඩනැගීම ප්‍රමුඛ ස්ථානයක තබන අතර, ආර්ථික පද්ධති ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර සහ පියවර සඳහා විධිවිධාන සලසා දෙයි. උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධන යාන්ත්‍රණය, නව ගුණාත්මක ඵලදායීතා සංවර්ධනය, සාර්ව ආර්ථික පාලන පද්ධතිය, නාගරික හා ග්‍රාමීය ඒකාබද්ධ සංවර්ධන යාන්ත්‍රණය සහ ඉහළ මට්ටමේ විවෘතභාවය පිළිබඳ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම ද එම තීරණයට ඇතුළත් ය.

විශේෂයෙන්ම ආයතනික විවෘතභාවය ක්‍රමානුකූලව පුළුල් කිරීම, විදේශ ආයෝජන සහ පිටත ආයෝජන කළමනාකරණ පද්ධති ප්‍රතිසංස්කරණය පුළුල් කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් ප්‍රවර්ධනය ද එම තීරණය යෝජනා කරයි.

රටේ නවෝත්පාදන පද්ධතියේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ කුසලතා ප්‍රවර්ධනය කිරී‍මේ යාන්ත්‍රණයන්හි ඒකාබද්ධ ප්‍රතිසංස්කරණය කෙරෙහි ද එමගින් උපදෙස් දී ඇත.

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ චීන මාදිලියේ සමාජවාදී නීති පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ද විධිවිධාන සලසා ඇත. සංස්කෘතික පද්ධති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්, භෞතික සහ ආධ්‍යාත්මික ශිෂ්ටාචාර සමපාත වන අයුරින් නවීකරණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ද එම තීරණය අවධානය යොමු කරයි.

ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා, ආදායම් බෙදාහැරීමේ ක්‍රමය සහ ඊට අදාළ පිළිවෙළ වැඩිදියුණු කිරීම, ව්‍යවසායකත්වය සහ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරී‍මේ ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීම සහ වැඩිහිටි සත්කාර සේවා වැඩිදියුණු කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර ද එම තීරණය මගින් අවධාරණය කර ඇත.

පරිසර පාලන පද්ධතිය, හරිත හා අඩු කාබන් සංවර්ධන යාන්ත්‍රණය, නව බලශක්ති පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම ද එහි අන්තර්ගත ය. 

නවීකරණය සහතික කෙරෙන ඵලදායී ජාතික ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීම ද අත්‍යවශ්‍ය වේ. එසේම, සම්බාධක-විරෝධී, මැදිහත්වීම්-විරෝධී සහ “දිගු-අත් අධිකරණ බලය”-විරෝධී යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද එම තීරණයේ සඳහන් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය, ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ මූලික සහතිකය බව එම තීරණය පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන තීරණ සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම සහ සේවක කළමනාකරණ පද්ධති ප්‍රතිසංස්කරණය පුළුල් කිරීම ද එම තීරණයට අන්තර්ගත ය. අවිනීත සහ දූෂණ ගැටළු සමගාමීව විමර්ශනය කිරීම සහ ඊට අදාළ පියවර ගැනීමේ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම මෙන්ම නව දූෂණ සහ සැඟවුණු දූෂණ වැළැක්වීම සඳහා ඵලදායී පියවර ප්‍රවර්ධනය ද එම තීරණයෙන් ඉදිරිපත් කර ඇති බව ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම