වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ජාතිය අමතයි
2024-07-15 14:14:00
Share with:

ප්‍රචණ්ඩත්වයට එරෙහි වන ලෙසත්, ජාතික සමගිය සහතික කරන ලෙසත් ඇමරිකාවේ ජනාධිපති Joe Biden මහතා ඉල්ලා සිටී. හිටපු ජනාධිපති Donald Trump මහතා එල්ල කර ගනිමින් සිදුවූ වෙඩි ප්‍රහාරය පිළිබඳව ජාතිය අමතා දේශනයක් පවත්වමින් හෙතෙම මේ බව කියාසිටියේය. ධවල මන්දිරයේ සිට ඊයේ (14) එය පවත්වනු ලැබීය.

ඇමරිකාවේ පවතින දේශපාලන උණුසුම පහත හෙළිය යුතු බවත්, විවිධ අදහස් පැවතිය ද සමගිය අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.  

එසේම, Trump මහතා වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය හෙළාදකින බව ඔහු යළිත් කියාසිටියේය. 2021 වසරේ ජනවාරි 6 වැනිදා කැපිටල් හිල් කෝලාහල සහ 2022 ඔක්තෝබර් මාසයේ හිටපු කථානායක Nancy Pelosi මහත්මියගේ සැමියා වන Paul Pelosi මහතා වෙත එල්ල වූ ප්‍රහාරය සිහිපත් කරමින් බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සාමාන්‍යකරණය වීමට ඉඩ දිය නොහැකි බව යි.

මේ අතර, Donald Trump මහතාට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු පෙන්සිල්වේනියාවේ 20 හැවිරිදි තරුණයෙකු බව FBI ආයතනය ඊයේ (14) නිවේදනය කළේ ය. ඔහු එම අවස්ථාවේ දී ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්විය. Thomas Matthew Crooks නමැති ඔහුගේ අපරාධ  අරමුණ වූයේ කුමක්දැයි තවමත් නිශ්චය කර නොමැති බව ද  FBI ආයතනය පවසයි.

රටේ මැතිවරණ වසර තුළ සිදුවන මෙවැනි සිදුවීම්වලින් අනිසි දේශපාලන කේන්ද්‍රීයකරණය වඩාත් ඉස්මතු ව පෙනෙන බව ඇමරිකානු ජනතාව පවසති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම