රුසියානු - ඉන්දියානු සහයෝගිතා පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක්
2024-07-10 10:28:06
Share with:

රුසියාව සහ ඉන්දියාව අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට දෙරට නායකයන්ගේ එකඟතා පළ වේ. ඊයේ (9) නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් ය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිරත වූ නිල රාජ්‍ය චාරිකාව නිමිති කර ගනිමින් මෙම නිවේදනය පළ කර ඇත.

වත්මන් සංකීර්ණ සහ අවිනිශ්චිත භූ දේශපාලනික තත්ත්වය තුළ රුසියානු-ඉන්දියානු සබඳතා ස්ථාවරව පවතින බව එහි දැක්වේ.  එසේම, විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීම කෙරෙහි ද දෙරට නායකයන්ගේ අවධානය යොමු ව ඇත.

ද්විපාර්ශ්වික වෙළඳාමේ වර්ධනය වේගවත් කිරීමටත්, 2030 වසර වන විට දෙරට අතර ආර්ථික සහයෝගිතාවයේ උපායමාර්ගික ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත. කලාපීය ආරක්ෂක ආකෘතිය ශක්තිමත් කිරීමට ද එකඟතාව පළ වී තිබේ.

යුක්රේන අර්බුදයේ දී රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් යුතුව ගැටුමට අදාළ දෙපාර්ශ්වය මැදිහත් වී සාමකාමී විසඳුමකට එළඹිය යුතු බව ද රුසියාව සහ ඉන්දියාව අවධාරණය කරයි. එසේම, ගාසා තීරයේ මානුෂීය ආධාර කාර්යක්ෂම අයුරින් බෙදාහැරීම සහතික කර, සටන් විරාමයකට එළඹීම සහ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ද දෙපාර්ශ්වය ඉල්ලා සිටී.

බලශක්තිය පිළිබඳ නව දිගුකාලීන ගිවිසුම් සහ ගල්අඟුරු පිළිබඳ සහයෝගිතා තවදුරටත් සලකා බැලීමට ද එකඟතාව පළ වූ බව නිවේදනයේ දැක්වේ.

මෙම චාරිකාව අතරතුර, ‘ශාන්ත ඇන්ඩෘ ප්‍රථම අපොස්තුළුවර’ නම් වූ රුසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව නාමය ද  පුටින් මහතා විසින් මෝදි මහතා වෙත ප්‍රදානය කෙරිණ.   ලබන සරත් සෘතුවේ රුසියාවේ කසාන් නගරයේ පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුවට සහභාගි වන ලෙස ද හෙතෙම ඉන්දීය අගමැතිවරයාට ඇරයුම් කළේය. නරේන්ද්‍ර මෝදි  මහතා ඉකුත් 8, 9 දෙදින රුසියාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වූ අතර, ගත වූ  වසර 5 තුළ ඔහු රුසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය යි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම