උසස් ගුණාත්මකබවින් යුතු තිරසර සංවර්ධනය සඳහා කැප වී සිටින චීනය ලොව හරිත පරිවර්තනයේ පෙරගමන්කරුවා යි
2024-07-09 16:40:46
Share with:

චීනයේ හරිත සංවර්ධන ප්‍රගමනය සමස්ත ලෝකයේම හරිත පරිවර්තනයට අතිශය සාධනීය බලපෑමක් එල්ල කර ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා කියාසිටී. හරිත බලශක්ති කර්මාන්ත සහ විදුලි වාහන නිපැයුම් ක්ෂේත්‍රයන් හි චීනය සාක්ෂාත් කර ඇති  දියුණුව මෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය එහිදී කැපීපෙනෙන බව  ද ඔහු කියාසිටී.

වර්තමානයේ ඉතා බරපතල ගෝලීය අර්බුදයක් බවට පත් ව ඇති දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාමාර්ග වචනයට පමණක් සීමා නොවිය යුතු බව ජාත්‍යන්තර වේදිකාවන් හි දී චීනය සෑමවිටම අවධාරණය කළේ, ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු ප්‍රායෝගික පියවර ද යෝජනා කරමිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත පරිවර්තන ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීම සඳහා සංවර්ධිත රටවල සහාය ලබාදෙන ලෙස චීනය බොහෝ අවස්ථාවන්වල ඉල්ලා සිටියේය. එසේම, එතැනින් නොනැවතී ආසියානු සහ අප්‍රිකානු කලාපවල හරිත බලශක්ති ප්‍රයත්න දිරිගැන්වීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට ද චීනය අඛණ්ඩව පියවර ගනිමින් සිටී. බංග්ලාදේශයේ ස්ථාපිත දැවැන්ත දාසු ජලවිදුලි බලාගාර ව්‍යෘපෘතිය, කෙන්යාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ ඉතියෝපියාවේ සුළං බලශක්ති බලාගාර ඇතුළු නිදසුන් රැසක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉදිකිරීම්, තාක්ෂණික සහාය ආදී අංශ ගණනාවකින් චීනය මේ ව්‍යාපෘති සඳහා සහාය වී තිබේ. ‘සංවර්ධනය සියලු දෙනාගේ හිමිකමකි’ යන චීන නායක ෂී ජින් පිං මහතාගේ සංකල්පය ද මේ සියල්ල තුළ ගැබ් ව පවතින බව රුබේරු මහතා කියාසිටී.

ලෝකය ඉදිරියට යා යුත්තේ උසස් මට්ටමේ උපායමාර්ග සහිත ගුණාත්මක සංවර්ධනයක් සහතික කරමින් බව ද චීන නායක ෂී ජින් පිං මහතා නිරතුරුව පෙන්වා දී තිබේ.  ලෝකයේ පැවැත්ම ගැන නොසිතන සංවර්ධනයෙන් අත්වන සෙතක් නැත. සංවර්ධනය සිදුවිය යුත්තේ ලොව තිරසර පැවැත්ම තහවුරු කරමිනි. චීනය විදුලි වාහන හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත්වන්නේ ද මේ සංකල්පය මත පිහිටා ක්‍රියාකිරීම හේතුවෙනි. වර්තමානයේ චීනය නිපදවන විදුලි වාහන සමස්ත ලෝකයේම අවධානය දිනාගනිමින් ඉහළ අලෙවියක් හා සාර්ථකත්වයක් අත් කරගෙන ඇත. මීට සමගාමී ව චීනය කාබන් ශූන්‍යත්වය හා ජගත් සංවිධානයේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක කරා ද නොසැලෙන ගමනක නිරත ව සිටින බව රුබේරු මහතා පෙන්වාදෙයි.

එහෙත්, මෙම සංවර්ධනය නොඉවසන ඇමරිකාව චීනය කෙරෙහි විවිධ සම්බාධක පැනවීමට පියවර ගනිමින් සිටී. ඒ අතර යුරෝපා සංගමය ද විදුලි වාහන ව්‍යවසායන්ට අදාළව නොයෙකුත් කරුණු පදනම් විරහිතව හුවාදක්වමින් පරීක්ෂණ දියත් කළ යුතු බව පවසා තිබේ. මේ ආකාරයේ කුමන බාධා එල්ල කළ ද චීනයේ ගමන කඩාකප්පල් කිරීමට ඔවුන් අපොහොසත් වනු ඇත. ඒ, ජගත් ප්‍රජාව මේ වනවිට චීනය සහ චීනයේ නිවැරදි ක්‍රියා පිළිවෙත මේ වනවිට මැනැවින් වටහාගෙන සිටීම නිසා බව ද ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා පවසයි.        

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම