විදුලි වාහනවලට සපයන සහනාධාර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ උපදේශන ලබා නොගත් බවට එල්ල වන චෝදනා චීනය සපුරා ප්‍රතික්ෂේප කරයි
2024-07-09 10:25:35
Share with:

යුරෝපා සංගමය මාස ගණනක් තිස්සේ උත්සාහ කළ ද චීනය මෑතක් වන තුරුම, විදුලි වාහන ව්‍යවසායන් සඳහා සපයන සහනාධාර පිළිබඳ උපදේශන ලබා නොගත් බවට යුරෝපා සංගම් නිලධාරියෙකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව චීනය කියාසිටී. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ඊයේ (8) මේ බව කියාසිටියේය.

චීන රජය විදුලි වාහන ව්‍යවසායන් සඳහා සහනාධාර ලබාදෙන බව පවසමින්, යුරෝපා සංගමය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සහනාධාර විරෝධී පරීක්ෂණයක් ඇරඹීය. එතැන් සිට චීනය ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අවස්ථා ගණනක දී මේ පිළිබඳ දැඩි විරෝධය පළ කර ඇති බවට යුරෝපා සංගමයේ චීන තානාපති Jorge Toledo Albinana කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීනයේ වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඉහත අදහස් දැක්වීය. 

පසුගිය මාස කිහිපයේ අදාළ කාරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ නායකයන් සහ අමාත්‍ය මට්ටමින් මුහුණට මුහුණ හමුවීම් සහ ලිපි මගින් ද්විපාර්ශ්වික අදහස් හුවමාරු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

චීනය එහිදී සිය උපරිම අවංකභාවය පෙන්නුම් කර ඇති බවත්,  යුරෝපා සංගම් පාර්ශ්වය ද  සැබෑ අවංකභාවයෙන් යුතුව උපදේශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමකට හැකි ඉක්මණින් එළඹෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවත් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

වෙළඳ ආරක්ෂණවාදී පියවර ගෝලීය හරිත කර්මාන්ත සංවර්ධනයට මෙන්ම මෝටර් රථ කර්මාන්තයේ සහයෝගිතාවන්ට අහිතකර වනු ඇත. ආර්ථිකයේ හරිත පරිවර්තනය උදෙසා සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව චීනය තරයේ විශ්වාස කරයි.

වෙළඳ ගැටලු දේශපාලනීකරණය කරන සියලු ප්‍රයත්නයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්,  නීතිය අනිසි ලෙස භාවිත කරන සහ චීනය මර්දනය කරන ඕනෑම ක්‍රියාවකට එරෙහි වෙමින්  තම රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම