චීන-ටජිකිස්ථාන ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-07-05 21:44:16
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා සාකච්ඡාවක් පවත්වති. ඒ, අද (5) පස්වරුවේ ටජිකිස්ථානයේ දුෂාන්බේ අගනුවර ජනාධිපති මන්දිරයේදී ය.

පොදු යහපත හා ජයග්‍රහණ සහිත, පාරම්පරික මිත්‍රත්වයෙන් සුවදුක් බෙදාහදා ගන්නා, පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම තමා හා Emomali Rahmon  ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය දේශපාලන ප්‍රතිඥාවක් වන බව ෂී ජින් පිං මහතා එහිදී සිහිපත්  කළේය. එය යුගයේ වර්ධන ප්‍රවණතාවට  හා දෙරට ජනතාවගේ පොදු අයිතිවාසිකම්වලට ගැලපෙයි.

ටජිකිස්ථානය සමඟ එක්ව නව යුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සංවර්ධනය කරමින්, වඩාත් උසස් මට්ටමක පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීමට චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා කියාසිටියේය.

තම රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ටජිකිස්ථානය  දරන  ප්‍රයත්නයන්ට චීනයේ තිර සහය හිමි වේ.  එසේම, ජනාධිපති Emomali Rahmon මහතාගේ විවිධ දේශපාලන සැලසුම් හා සංවර්ධන විධිවිධානවලට සහයෝගය දක්වන  චීනය,  ටජිකිස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඕනෑම බාහිර බලවේගයකට තරයේ විරෝධය පළ කරන බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ටජිකිස්ථානයේ විශ්වාසවන්ත මිතුරා මෙන්ම සමීප සහෝදරයා ද වන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ෂී ජින් පිං මහතා, ඔහුගේ පළමු ටජිකිස්ථාන නිල සංචාරයේ දස වැනි සංවත්සරය නිමිත්තෙන් යළිත් එරට සංචාරය කිරීම,  සන්ධිස්ථානගත සිදුවීමක් බව Emomali Rahmon මහතා පැවසීය.

මෑත වසරවල දෙරට සබඳතාව මනා සංවර්ධන අදියරක පවතින අතර  විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සක්‍රිය ප්‍රතිඵල රැසක් දිනා ඇත. 

ෂී ජින් පිං මහතා ඉදිරිපත් කර ඇති ගෝලීය මුලපිරුම් මාලාව නිසි අයුරින් ක්‍රියාත්මක කොට ශැංහයි සහයෝගිතා සංවිධානය, චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය සහ ජගත් සංවිධානය යන බහුපාර්ශ්වික රාමු යටතේ චීනය සමඟ සමීප සහයෝගිතා පැවැත්වීමට ටජිකිස්ථානය සූදානමින් සිටින බව ද ජනාධිපති Emomali Rahmon මහතා අවධාරණය කළේය.  ෂී ජින් පිං මහතාගේ මෙවර සංචාරය තුළින් නව යුගයේ ටජිකිස්ථාන-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට රැගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම