චීන - ඇමරිකා අභ්‍යවකාශ සහයෝගිතා පිළිබඳව විවෘත ස්ථාවරයක් දරන බව චීනය කියයි
2024-07-01 20:08:58
Share with:

චීන - ඇමරිකා අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගිතා පිළිබඳව විවෘත ස්ථාවරයක් දරන බව චීනය කියාසිටී. ‘චන්ග් අ 6’ මෙහෙයුමෙන් පසුව අභ්‍යවකාශ සහයෝගිතා පිළිබඳ ඇරයුමක් ද ලොවට ඉදිරිපත් කර ඇති චීනය, චන්ද්‍රයාගේ සාම්පල පිළිබඳ පර්යේෂණ සඳහා විවිධ රටවල විද්වතුන් සහභාගි කරවා ගැනීමට ද අපේක්ෂා කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (1) පැවති මාධ්‍ය හමුවේදී මේ අදහස් පළකළේ ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පසුගිය 28 වැනිදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

චීනය, සඳේ ඈත ප්‍රදේශයෙන් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමේ දී ප්‍රංශය, ඉතාලිය, පාකිස්ථානය හා යුරෝපා අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සමග සහයෝගිතා පවත්වා ඇතත්, ඒ සඳහා ඇමරිකාවේ NASA ආයතනය සහභාගි කර නොගත් බව ඔහු පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය කියාසිටියේ, NASA ආයතනය සහ ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදුකෙරෙන චීන-ඇමරිකානු ඒකාබද්ධ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාකාරකම් තහනම් කිරීමේ ඇමරිකානු පනත ඔවුන්ට අමතක වී මෙවැනි චෝදනා එල්ල කරන බවයි. මේ පනත හේතුවෙන් චීනය සමග අභ්‍යවකාශ සහයෝගිතා පැවැත්වීමට ඇමරිකාවේ විද්‍යාඥයන්ට හා ආයතනවලට ද අවසර හිමි නොවනු ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම