යල් පිනූ නීති පද්ධති හේතුවෙන් සංවර්ධනය අඩාල කරගන්නා රටවලට චීනයෙන් ලද හැකි ආදර්ශ බොහෝ ය
2024-06-28 16:50:55
Share with:

නීතියේ ආධිපත්‍යය යනු රටක ස්ථාවර පැවැත්ම පිළිබඳ ප්‍රධාන සංරචකයකි. නීතිය පැවතිය යුත්තේ සියලුදෙනාට ඉහළිනි. එසේම නීතිය ඉදිරියේ සමානාත්මතාව පවතින බවට ජනතාව තුළ විශ්වසනීයත්වය තහවුරු කිරීම ද පාලකයන් සතු ප්‍රමුඛ වගකීමකි. මේ කරුණුවලට අදාළව විමසා බැලීමේ දී චීනය තම රටේ නීති පද්ධතියේ නිසි පරිපාලනය සම්බන්ධයෙන් අතිශය සියුම් අවධානය යොමු කරන රාජ්‍යයක් බව නීතිඥ ශ්‍යාමා නානායක්කාර මහත්මිය පෙන්වාදෙයි.   

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විග්‍රහ කරමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රට පාලනය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලක චීන කොමියුනිස්ට් පක්ෂයට මූලික නීතිමය පදනම සකසන බවයි. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කේන්ද්‍ර කර ගනිමින් චීන ලක්ෂණවලින් යුතු සමාජවාදී නීති පද්ධතිය ගොඩ නැගීම කඩිනම් කළ යුතු බවට ද චීන ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

චීන නායකයා මෙහිදී පවසන්නේ චීන මාදිලියේ සංවර්ධනය ඉදිරියට රැගෙන යාමේ දී ඊට සමගාමී ව නව නීති පද්ධතියක් සැකසිය යුතු බවයි. චීනය සංවර්ධන ප්‍රයත්න අතින් කල් මරන රාජ්‍යයක් නොවේ. එහි ඉදිරි ගමන අඛණ්ඩව, ශීඝ්‍රගාමී ව සිදුවන්නකි. මේ නව ප්‍රවණතා සමග ඉදිරියට යාමේ දී ඒ ඒ නවීන ක්ෂේත්‍රයන්ට අදාළ ව පවතින නීති සංශෝධනය කිරීමත්, නව නීති නිර්මාණය කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. මෙහිදී නිදසුන් ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, සයිබර් අවකාශය, නවීන සන්නිවේදන තාක්ෂණය වැනි අංශ හා සම්බන්ධ නීති පෙන්වා දිය හැකිය. මේ නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අදාළ නීති කාලානුරූපව වෙනස් නොවුණහොත් එම ක්ෂේත්‍රයන් හි සංවර්ධන ගමන අඩාල වීම වැළැක්විය නොහැකි බව ද නානායක්කාර මහත්මිය කියාසිටී.

චීනය මෙම පිළිවෙත හඳුන්වා දෙන්නේ ‘නීති පද්ධතියේ නිසි පරිපාලනය යටතේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ එම ප්‍රතිසංස්කරණ අතරතුර නීති පරිපාලනය අංගසම්පූර්ණ කර ගැනීම’  යනුවෙනි. මෙහිදී එම ක්ෂේත්‍ර දෙක අතර පවතින අනුපූරක භාවය ද මනාව පැහැදිලි වෙයි.

රටක සංවර්ධනයේ දී ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන නවෝත්පාදන සම්බන්ධයෙන් ද මේ තත්ත්වය අතිශය වැදගත් වේ. නවෝත්පාදන යනු දිනෙන් දින ඉදිරියට යන අනාගතවාදී ක්ෂේත්‍රයකි. නීතිමය පද්ධතියේ නිසි කළමනාකාරීත්වය තහවුරු වීම තුළින් නවෝත්පාදන දිරිගැන්විය හැකිය.  

එසේම විවෘතභාවය ක්‍රියාවට නැංවීමේ දී ද නෛතික පරිසරයේ සංවර්ධනය අතිශය වැදගත් බව චීන නායකයා මෑතක දී පෙන්වා දුන්නේය. එනම්, විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රයට අදාළ නෛතික සංවර්ධනය, චීන මාදිලියේ නවීකරණය තුළින් බලවත් රටක් ගොඩනැගීමේ කාර්යයේ දී  අතිශය වැදගත් වේ. උසස් මට්ටමේ විවෘතභාවය තහවුරු කිරීමේ දී මෙන් ම බාහිර අභියෝගයන්ට මුහුණ දීමේ දී ඉන් මනා පිටුබලයක් සැකසෙයි. චීනය මෑතකාලීනව ඇතැම් රටවලට හඳුන්වා දුන් වීසා රහිත ක්‍රමවේදය ද මීට එක්තරා නිදසුනකි.

කෙසේවෙතත් රට සංවර්ධනයේ දී අවශ්‍ය සියලු අංශ සඳහා නීති පද්ධතියේ පරිපාලනය ප්‍රශස්ත ලෙස සකසා ගැනීම පිළිබඳව චීනය දක්වන පුළුල් අවධානය සහ එමගින් අත් කරගන්නා ජයග්‍රහණ අතිශය ප්‍රශංසනීය වේ. යල් පැන ගිය නීති පද්ධති හේතුවෙන් සංවර්ධනය අඩාල කරගන්නා රටවලට මින් ලද හැකි ආදර්ශ බොහෝ ඇති බව ද නීතිවේදිනී  ශ්‍යාමා නානායක්කාර මහත්මිය අවධාරණය කරයි.   

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම