ඇමරිකාවේ ආධිපත්‍යය පිළිබඳ සමීක්ෂණයකින් හෙළිදරව් කිරීමක්
2024-06-28 15:44:50
Share with:

චීන ජනතාවට ඇමරිකාව පිළිබඳව පවතින ආකල්පය මුළුමනින්ම  ඇමරිකාව මත රඳා පවතින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පසුගිය දා ප්‍රකාශ කළේය. ඒ සමගම එම ප්‍රකාශය ජාත්‍යන්තරයේ උණුසුම් විවාදයකට තුඩු දී තිබේ.

ඇමරිකාව කෙරෙහි පවතින ප්‍රතිරූපය කෙබඳු ද යන්න විමසීමට චීනයේ CGTN සහ Renmin විශ්වවිද්‍යාලය එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය සමග සමීක්ෂණයක් සිදු කර ඇත. මේ සඳහා ආසියානු රටවල පුරවැසියන් සම්බන්ධ කර ගෙන ඇති අතර මෙහිදී ඇමරිකාවේ පවතින දේශීය අර්බුද, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සහ ආධිපත්‍යය පැතිරවීම යනාදී කරුණු පිළිබඳව විමසා ඇත.

වර්තමානය වනවිට ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වය උග්‍ර වෙමින් පවතින අතර මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වී ඇත. එමෙන්ම වාර්ගික වශයෙන් වෙනස්ව සැලකීම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව සඳහන් කරමින් ආසියානු ප්‍රතිචාර දැක්වූවන් පවසන්නේ ඇමරිකාව බොහෝ විට “ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය" සහ "ආණ්ඩුවේ ආදර්ශය" යනුවෙන් පෙන්නුම් කරන තත්ත්වය යථාර්ථය තුළ දැකිය නොහැකි බවයි. මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 84.4ක් විශ්වාස කරනුයේ අවි ප්‍රචණ්ඩත්වය ඇමරිකානු සමාජය තුළ දැකිය හැකි නිරන්තර ගැටලුවක් බවයි. එමෙන්ම සියයට 75.4ක් ඇමරිකාව තුළ වාර්ගික වෙනස්කම් පවතින බව සඳහන් කර ඇත. එරට මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දැඩි පීඩාකාරී තත්ත්වයක සිටින බව සියයට 69.9 ක් ප්‍රකාශ කර සිටී.

මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ආසියානු පුරවැසියන්ගේ මතය අනුව, ද්වි-පක්ෂ අරගලය සහ දේශපාලන ධ්‍රැවීකරණය ඇමරිකානු සමාජය තවදුරටත් ප්‍රචණ්ඩ කිරීමට හේතු වී ඇත. ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 82.5ක් විශ්වාස කරනුයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ අතර පවතින අරගලය සමාජයේ බෙදීම් වඩාත් නරක අතට හැරවීමට හේතු වී ඇති බවයි. මෙය ඇමරිකාවේ දේශපාලන ක්‍රමයේ පවතින දෝෂ හේතුවෙන් නිර්මාණය වූවක් බව සියයට 81.7ක් විශ්වාස කර සිටී.

එරට තුළ පවතින අකාර්යක්ෂම පාලනය සහ ජාත්‍යන්තර කටයුතුවල ආක්‍රමණශීලී මිලිටරිකරණය මෙන්ම අනෙකුත් රටවලට අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම ආසියාතික ප්‍රතිචාර දැක්වූවන් සියයට 60.5කට වැඩි සංඛ්‍යාවකගේ භීතියට හේතු වී ඇත. එමෙන්ම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 71.7ක් විශ්වාස කරනුයේ ඇමරිකාව බොහෝ විට වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන අතර ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් අනෙකුත් රටවල් මර්දනය කරන බවයි. මේ අතර සියයට 75.4ක් සඳහන් කරනුයේ ලෝක ඉතිහාසයේ වඩාත්ම සටන්කාමී රට ඇමරිකාව බවයි.

‍මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 70.2ක් වර්ණ විප්ලව සහ ලෝකයේ ප්‍රොක්සි යුද්ධ නිර්මාණය කිරීමේ ඇමරිකානු උත්සාහය පිළිබඳව සිය කනස්සල්ල පළ කළහ. මේ අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 73.6ක් විශ්වාස කරනුයේ ඇමරිකාව යුදමය තත්ත්වයන් ඇති කිරීම බරපතල මානුෂීය අර්බුදයකට තුඩු දී ඇති බවයි. එමෙන්ම ඇමරිකාව යුදමය ආධාර සහ විවිධ රටවලට ආයුධ විකිණීම ගෝලීය සාමයට බරපතල තර්ජනයක් බව ද සියයට 73ක පිරිසක් සඳහන් කර තිබේ.

ඇමරිකාව ලෝක යුද්ධ දෙකකින් සහ සීතල යුද්ධයෙන් පසු ලොව ඉහළම බලවතා බවට පත්වී, සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට උත්සාහ කරමින් වඩාත් සාහසික ලෙස වර්ධනය වී ඇත. විවිධ ගිවිසුම්වලින් නිතර ඉවත් වීම, සිය අධිකරණ බලය අසීමිත ලෙස වර්ධනය කිරීම, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු පැහැදලිව දැකිය හැක.

ආසියානු රටවල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 69.1ක් ඇමරිකාව ජාත්‍යන්තර නීතිරීතිවලදී දෙබිඩි පිළිවෙත් භාවිත කරන බවට චෝදනා කරති. මේ සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තවත් සියයට 64.4ක් විශ්වාස කරනුයේ වෙනත් රටවලට එරෙහිව ඇමරිකාව පනවන නීතිවීරෝධී සම්බාධක ආර්ථික බලහත්කාරය ඇති කිරීමක් බවයි. මෙම සමීක්ෂණයේ සියයට 67.4ක් චෝදනා කරනුයේ එරට ගෝලීය වශයෙන් පිළිගත් සම්මතයන් නොසලකා තමන්ගේම කැමැත්ත අනුව ක්‍රියා කරන බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 67.9ක් විශ්වාස කරන්නේ ඇමරිකාව සිය අභ්‍යන්තර ආර්ථික ප්‍රශ්න ගෝලීය ප්‍රජාව වෙත විතැන් කිරීමට ඩොලර් ආධිපත්‍යය භාවිත කරමින් සිටින බවයි. ‍මේ අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.4ක් ඇමරිකාව අධිපතිවාදී රටක් ලෙස නිර්වචනය කර ඇත.

සිංගප්පූරුව, සෞදි අරාබිය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය සහ ජපානය ඇතුළු ආසියානු රටවල් 10 ක පුද්ගලයින් 2009 පමණ පිරිසක‍ගේ සහභාගීත්වයෙන් මෙම මත විමසුමෙන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම