රතු මුහුදේ ආතතීන් තීව්‍ර කිරීමෙන් වළකින්නැයි චීනය ඉල්ලා සිටී
2024-06-28 11:08:36
Share with:

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට දැඩි ලෙස අවනත වන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර නීතිය සහ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම සහ අවභාවිත කිරීම මෙන්ම රතු මුහුදේ ආතතීන් යළි වර්ධනය කිරීමෙන් වළකින ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (27)  මේ බව කියා සිටියේ රතු මුහුදේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය වසර අවසානයේ සිට, හවුති කැරලිකරුවන් රතු මුහුද හා අවට කලාපයේ ගමන් ගන්නා වෙළඳ නැව්වලට යළි යළිත් ප්‍රහාර එල්ල කර තිබේ. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පටිපාටිය කඩාකප්පල් කිරීමේ මෙවැනි ක්‍රියාවන් කලාපීය ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපෑ බව ද Geng Shuang මහතා එහිදී පැවසීය.

රතු මුහුද යනු භාණ්ඩ හා බලශක්ති නිෂ්පාදන පිළිබඳ වැදගත් ප්‍රවාහන කොරිඩෝවකි. ජාත්‍යන්තර නීතිය පිළිගනිමින් රතු මුහුදේ යාත්‍රා කිරීමට වෙළඳ නෞකාවන්ට ඇති අයිතියට ගරු කරන ලෙස චීනය අවස්ථා කිහිපයක දී හවුති කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටි බව ද චීන නියෝජිතයා පැවසීය. එසේම සිවිල් යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම නවතා,  නැව් මාර්ගවල ආරක්ෂාව සහතික කරන ලෙස ද චීනය දැනුම් දී තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ ආරක්ෂක මණ්ඩලය මීට අදාළව ගෙන ආ යෝජනාවට චීනය ඡන්දය දීමෙන් වැළකී සිටියේ, ඇතැම්  ප්‍රධාන කරුණු පිළිබඳව එහි පැවති නොපැහැදිලි බව කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න කිරීමේ ඉඩක් පැවති නිසා ය. ඉන් අනතුරුව ඇතැම් රටවල් යේමනයේ ක්‍රියාත්මක කළ යුදමය ක්‍රියාමාර්ගවලින් යටිතල පහසුකම් සහ සිවිල් වැසියන්ට ද හානි සිදු වූ අතර, රතු මුහුදේ ආරක්ෂක අවදානම ද ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්වයේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, චීනය මෙවර ද අදාළ යෝජනා කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටින බව ද Geng Shuang මහතා පැවසීය.

ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම, යේමන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීම සහ මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග අඛණ්ඩව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම