චීනය-වෙනිසියුලා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2024-06-28 14:01:40
Share with:

චීනය හා වෙනිසියුලාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වෙනිසියුලා ජනාධිපති Nicolás Maduro මහතා අද(28) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

චීනය හා වෙනිසියුලාව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් පොදු සංවර්ධනය කරා ගමන් කරන යහපත් හවුල්කාරී රටවල් දෙකක් බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ සැප්තැම්බර් මස ජනාධිපති Nicolás Maduro මහතා සාර්ථකව චීනයේ සංචාරයට එක් විය. චීන-වෙනිසියුලා සබඳතාව සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා ඉහළ නංවා ගන්නා බවට එහි දී ප්‍රකාශ කෙරිණ. එමඟින් දෙරටේ සබඳතාව නව යුගයකට පිවිසුණු බව ෂී ජින් පිං මහතා පැවසීය. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකා වෙනිසියුලාව සමඟ දෙරටේ සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කිරීමට මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දී පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.   

චීනය සිය ස්වාධිපත්‍යය සහතික කිරීමට දරන ප්‍රයත්නයන්ට වෙනිසියුලාව ස්ථිරව අනුබල දෙන අතර ඊට බාධා කිරීමේ ඕනෑම උත්සාහයකට විරෝධය පළ කරන බව ද Nicolás Maduro ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කළේය. ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ ශිෂ්ටාචාර යන මුලපිරුම් තුන ක්‍රියාත්මක කිරීමට වෙනිසියුලාව සක්‍රිය ලෙස එක්වේ. වෙනිසියුලා-චීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කරමින් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සම්බන්ධීකරණය තහවුරු කිරීමට වෙනිසියුලාව ස්ථිරව කටයුතු කරනු ඇත. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ, චීනය ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කරනු ඇතැයි වෙනිසියුලාව විශ්වාස කරන බවද Nicolás Maduro මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම