සමස්ත මැදපෙරදිග කලාපයම දැවැන්ත ව්‍යසනයකට ඇද නොදැමිය යුතු බව චීනය කියයි
2024-06-26 11:15:32
Share with:

පලස්තීන-ඊශ්‍රායල් ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (25) මේ බව පැවසුවේ, ආරක්ෂක මණ්ඩලයේ පැවති රැස්වීමකට එක්වෙමිනි. සමස්ත මැදපෙරදිග කලාපයම දැවැන්ත ව්‍යසනයකට ඇද නොදැමිය යුතු බව, ඔහු එහිදී අවධාරණය කළේ ය.

පසුගිය මාසයේ 31 වැනිදා, ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අදියර 3 කින් යුතු යෝජනාවක් නිවේදනය කිරීමෙන් පසුව, ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේ අංක 2735 යෝජනාව සම්මත කර ගැනීමට සහාය පළ කළේය. අනතුරුව මෙම යෝජනාව පිළිගන්නා ලෙස ඊශ්‍රායලයෙන් සහ හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ය. ඊශ්‍රායලය එම සටන් විරාම යෝජනාව පිළිගත් බව ඇමරිකාව එහිදී ප්‍රකාශ කළ ද,  ඊශ්‍රායලය මේ දක්වාම මහා පරිමාණ යුද මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටී. බටහිර ඉවුරේ, ඊශ්‍රායල බලධාරීන් පලස්තීනුවන්ට එරෙහිව කරන සෝදිසි, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රහාර දෛනිකව සිදු වේ. මේ නිසා ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ඉතා බරපතල බව ද Fu Cong මහතා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මානුෂීය සේවාවන් හි නිරත වන්නන්ට ද බරපතල ලෙස තර්ජනය කරන අතර ම, එම ආයතන අකාර්යක්ෂම බව පවසමින් පදනම් විරහිත චෝදනා ද එල්ල කරති. මෙම තත්ත්ව කිසිසේත් පිළිගත නොහැකිය. මැදපෙරදිග කලාපයේ දිගුකාලීන සාමය සහ ආරක්ෂාව කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සක්‍රිය ලෙස එක්ව, කල්පවත්නා සටන් විරාමයක් ප්‍රවර්ධනය කළ යුතු බවත්, "ද්වි-රාජ්‍ය විසඳුම" හැකි ඉක්මණින් යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් චීනය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම