චීන අනන්‍යතාව සහිත සංවර්ධනයේ සංස්කෘතික පසුබිම
2024-06-25 14:41:42
Share with:

චීනය උසස් සංස්කෘතියකට හිමිකම් කියන රටක් වන අතර ඔවුන් සතු එම සංස්කෘතික දායාද සියලු කල්හි රැක ගැනීම වඩා වැදගත් බව චීන ජනතාවගේ මතයයි. ‍රටේ සංවර්ධන කාර්යයට සංස්කෘතිය නිර්මාණශීලී ලෙස යොදා ගැනීම වඩාත් වැදගත් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ද විශ්වාසයයි. සංස්කෘතික පසුබිමක් සමග ගොඩනැඟුණු චීන ජනාධිපතිවරයා සෑමවිටම සංවර්ධන වැඩපිළිවෙළ තුළ සංස්කෘතික අංශය වියුක්ත නොකර එකිනෙක සම්බන්ධ කිරීමට උපදෙස් ලබා දී ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ 100 වන සංවත්සරයේ දී ඉදිරිපත් කළ ඒකාබද්ධතා ප්‍රකාශ තුළ ද සංස්කෘතික ප්‍රවර්ධනයේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය වසරේ චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රවේශය තුළින් ද චීන අනන්‍යතාව සහිත සංවර්ධනයේ සංස්කෘතික පැතිකඩ හොඳින් පැහැදිලි කර තිබේ. එහිදී ඔහු අඛණ්ඩතාවය, නවෝත්පාදනය සහ නිර්මාණශීලී ගොඩනැඟීම, එක්සත්භාවය, සියල්ල ඇතුළත් බව සහ සාමකාමී බව යන සංස්කෘතික සංවර්ධනයේ දී අවධානය යොමු කළ යුතු කරුණු පහක් ඉදිරිපත් කළේය. මෙමගින් සෑම කල්හිම පවතින චීන සංස්කෘතියේ අනන්‍යතාව සහ ‍ඓතිහාසික පදනම මනාව පෙන්නුම් කර ඇති බව ද ආචාර්ය මංගල පැස්කුවල් මහතා සඳහන් කරයි. 

චීන සංස්කෘතිය විවිධ ආභාසයන්ගෙන් පෝෂණය වූ දැවැන්ත භූගෝලීය ව්‍යුහයකින් සහ විවිධත්වයකින් සැදුම්ලත් අංශයකි. එහෙයින් එය පෙර අන් කවරදාටත් වඩා සුරක්ෂිත කිරීම ඉතා වැදගත් ය. ඒ වෙනුවෙන් සිය සංස්කෘතික දායාද සංරක්ෂණය කිරීම, කෞතුකාගාර සංවර්ධනය සහ ඓතිහාසික සැමරුම් උත්සව පැවැත්වීම වැනි විවිධ වැඩසටහන් සඳහා අඛණ්ඩව චීන රජය ප්‍රමුඛත්වය ලබා දෙමින් සිටී. සංස්කෘතික චින්තනය ප්‍රවර්ධනය කෙරෙන සංචාරක කර්මාන්තය සහ ආර්ථික හුවමාරු ප්‍රවේශයන් ද ඒ අතර සුවිශේෂ වේ.

එමෙන්ම සිය සංස්කෘතිය අත්හැර විවිධ බාහිර සම්ප්‍රදායන් අනුගමනය කළ බොහෝ යුරෝපා රටවල් අසාර්ථකත්වයට පත්ව වූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි. නමුත් චීනය සිය සංවර්ධන සැලසුමට චීන අනන්‍යතාව නිසි පරිදි යොදා ගනිමින් ගෝලීය පොදු  සංවර්ධනය උදෙසා ද දායක වෙමින් සිටින බව ආචාර්ය මංගල පැස්කුවල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම