චීන-පෝලන්ත සබඳතා ශක්තිමත් කරමින් දෙරටේ ජනපතිවරුන් අතර සාකච්ඡා
2024-06-24 20:36:15
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අද(24) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී එම සාකච්ඡාව පැවැත්විණ.

පෝලන්තය සමග එක්ව ‘සාමකාමී සහපැවැත්ම පිළිබඳ මූලධර්ම පහේ’ එල්බ සිට රා‍ජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමේදී දෙරටේ මූලික අභිලාෂය ද ආරක්ෂා කරමින්, සාම්ප්‍රදායික මිත්‍රත්වය උරුම කර ගෙන දෙරටේ සම්බන්ධතාවය වඩාත් ඉහල මට්ටමකට නංවාලීමට උත්සාහ කිරීමට චීනය කැමති බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය.

 පෝලන්තය නව චීනය පිළිගත් පළමු රටවලින් එකක් වන බවත් මෙම වසරේ චීන පෝලන්ත සබඳතා පිහිටුවීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බවත් ඔහු පෙන්වා දෙයි. ගෙවී ගිය වසර 75 තුළ ද්විපාර්ශ්වික සම්බන්ධතාව විධිමත් හා ස්ථාවර ලෙස වර්ධනය වී තිබේ. විශේෂයෙන් වසර 8කට පෙර චීන පෝලන්ත සම්බන්ධතාව  විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා ප්‍රවර්ධනය කිරීමේ  සිට, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතා හා අදහස් හුවමාරු අඛණ්ඩව පුළුල් වී තිබේ. එහි ප්‍රතිඵල දෙරටෙහි ජනතාවට සුබ සෙත උදා  කර ඇතැයි ෂී ජින්පිං මහතා කියා සිටී.

චීනය හා පෝලන්තය අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාවයෙන් යුත් සැලකීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාව හා අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ ‘චීන පෝලන්ත මිත්‍රත්වයේ හරයෙහි’ ස්ථිරව එළඹ සිටී. එමෙන්ම එකිනෙකාගේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ උත්සාහයන්ට ද සහාය ලබා දිය යුතුය.  සීතල යුද මානසිකත්වය සහ කඳවුරු එදිරිවාදිකම්වලට එක්ව විරුද්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා ජගත් පද්ධතිය පූර්ණ ලෙස ආරක්ෂා කළ යුතුය. සමානාත්මතාවයෙන් යුතු විධිමත් ලෝක බහුධ්‍රැවීකරණය හා පොදු ප්‍රතිලාභ සහිත ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යාමට දෙරට එක්ව ප්‍රයත්න දැරිය යුතුය. පෝලන්තයේ ගුණාත්මක කෘෂි නිෂ්පාදිත චීන වෙළඳපොලට ප්‍රවේශවීම පිළිගන්නා අතර දෙරට අතර ආයෝජනයට චීනය සිය සහාය දක්වනු ඇත. එමෙන්ම පෝලන්තය තුළ චීන ව්‍යාපාර වෙනුවෙන් සාධාරණ, යුක්තිසහගත, වෙනස්ව සැලකීමකින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ෂී ජින්පිං මහතා  ප්‍රකාශ කර ඇත.

චීනය සමග "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙල පොදුවේ ගොඩනැඟීමෙන් පෝලන්තයේ යටිතල පහසුකම් ඉදිකිරීම් සහ ආර්ථික සංවර්ධනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය වී ඇති බව Andrzej Duda ජනාධිපතිවරයා එහිදී පැවසීය. ජාත්‍යන්තර කටයුතුවලදී චීනයේ දැක්ම සහ ලෝක සාමය සහ සංවර්ධනය සඳහා චීනයේ වැදගත් දායකත්වය පෝලන්තය අගය කරන බව ද හෙතෙම සඳහන් කර ඇත. එකම චීනය මූලධර්මය පෝලන්තය ස්ථීර ලෙස අනුගමනය කරන අතර, ආර්ථිකය, වෙළඳාම, කෘෂිකර්මාන්තය, යටිතල පහසුකම්, සන්නිවේදනය සහ මානව හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල  ද්විපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමට ද පෝලන්තය අපේක්ෂාවෙන් සිටී. නවෝත්පාදනය , ඩිජිටල් ආර්ථිකය සහ නව බලශක්ති වාහන ඇතුළු අංශවල සහයෝගීතා තවදුරටත් පුළුල් කරමින්, පෝලන්තයේ ආයෝජනය කිරීමට පැමිණෙන චීන සමාගම් සාදරයෙන් පිළිගන්නා බව ද Andrzej Duda මහතා ප්‍රකාශ කර ඇත. 

එම සාකච්ඡාවෙන් අනතුරුව, ආර්ථික, වෙළෙඳ, කෘෂිකර්ම ඇතුළු විවිධ  ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට අත්සන් තැබීමේ අවස්ථාවට ද රාජ්‍ය නායක දෙපළ එක්වූහ.

එමෙන්ම “ චීන-පෝලන්ත විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම පිළිබඳ 2024-2027 ක්‍රියාකාරී සැලැස්ම” ද එහිදී නිකුත් කෙ‍රිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම