චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිය, චීන ගමන් මගේ කේන්ද්‍රයයි
2024-06-24 14:45:07
Share with:

රටක සැබෑ ශක්තිය එහි නීතිමය ආධිපත්‍යයෙන් පෙනෙන බව සත්‍යයකි. එම නිසා රටක නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත විය යුතු අතර එය එරට සමාජ, ආර්ථික සහ දේශපාලන යන සියලු අංශයන්හි පිබිදීමට මෙන්ම ජනතා සුබසිද්ධියට හේතු වන බව නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා කියා සිටී. එහෙයින් ඕනෑම රටක් කාලීනව නීති ප්‍රතිසංස්කරණය කරමින් සමාජයේ යහපැවැත්ම උදෙසා සිය පූර්ණ දායකත්වය ලබා දීම වැදගත් වේ.

ලෝකයේ සෑම ක්ෂේත්‍රයක්ම මේ වන විට ඉතා වේගයෙන් පරිවර්තනයකට ලක්වෙමින් පවතී. විවිධ නවෝත්පාදන ලොවට හඳුන්වා දීමත්, එම සියළු අංශයන් ආවරණය වන ලෙස නීති සම්පාදනය කිරීමත් අනිවාර්ය කාරණයකි. මේ නිසාම රාජ්‍ය පාලනයේ දී නීති පරිපාලන සංකල්පය විශේෂ අවධානයක් යොමු කෙරුණු පුළුල් ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.

බටහිර මෙන්ම ආසියාවේ ඇතැම් රටවල්වල යල් පැනගිය මෙන්ම ජනහිතකාමී නොවූ නීති රාමු ඔස්සේ ජනතාව පීඩාවට පත් වෙමින් සිටිති. ‍මීට සමගාමීව චීන රාජ්‍ය තුළ ක්‍රියාත්මක වන චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ කොට ගත් නීතියේ ආධිපත්‍යය පිළිබඳ දැක්ම බටහිර රටවලට වඩා වෙනස් එකක් බව පෙනේ. චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිය, චීන ගමන් මගේ කේන්ද්‍රය වී ඇත්තේ එරට චීන ජනතාව හේතුවෙනි. මෙවැනි නීතිය මත පදනම් වූ පාලන ක්‍රමයක් තුළ පමණක් චීන ජාතිකයින්ට සිය සුබවාදී ජයග්‍රහණ අත්පත් කර ගත හැකිය යන්න  විශ්වාසය ගොඩනැඟී ඇතැයි සංඛ ප්‍රබුද්ධ මහතා පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය ඔස්සේ එරට නවෝත්පාදනයන්, ආරක්ෂක පද්ධතිය, පරිසර සංරක්ෂණය, සංස්කෘතික ප්‍රගමනය, තාක්ෂණික මෙහෙයුම් සියල්ල අධීක්ෂණය වේ. නව පරම්පරාව උදෙසා ද අන්තර්ජාල වාරණ නීති, සංස්කෘතියට අදාළ නීති සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යාපනය ලබාදීමට චීන පාසල් පද්ධතිය තුළ කටයුතු කර තිබේ.

චීනය තුළ "එකම රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය සහතික කරමින් හොංකොං, තායිවානය සහ මැකෞ ප්‍රදේශ කෙරෙහි ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම පදනම් කර ගනිමින් නීති සකස් වී ඇත. ජාතික පුනර්ජීවනය චීන ජනතාවගේ විශාලතම සිහිනය බවත්, ආයතන ගොඩනැගීම සහ නීතියේ ආධිපත්‍යය නොමැතිව චීනයට එම සිහිනය සැබෑ කළ නොහැකි බවත්, නීතියේ ආධිපත්‍යය පවතින විට චීනය සමෘද්ධිමත් වනු ඇති බවත්, එසේ නොවුණහොත් රට අනතුරට මුහුණපාන බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන්නට උත්සාහ දැරීමෙන්, ජනතා අයිතීන් සුරැකීම මෙන්ම ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය වේ. නවීණ සමාජ දියුණුව සමග නීතිය යාවත්කාලීන විය යුතු අතර ඕනෑම රටක් කාලීනව නීති ප්‍රතිසංස්කරණය කරමින් සමාජයේ ප්‍රගමනය සාක්ෂාත් කර ගත යුතුය. චීනය තුළ සෑම ක්‍ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණයේ දී පුළුල් ලෙස ජනතාව අදහස් ලබා ගනී. චීනය තුළ ක්‍රියාත්මක ජනහිතකාමී බොහෝ කරුණු සහ එය අවශ්‍යතා අනුව නීති යාවත්කාලින කිරීමේ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ද ආදර්ශකොට ගත හැකි බව නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම