ගාසා තීරයේ දරුණු සටන් ‘ඉතා ඉක්මණින්’ අවසන් කරන බව ඊශ්‍රායල අගමැති කියයි
2024-06-24 09:28:10
Share with:

හමාස් සංවිධානයට එරෙහි දරුණු සටන් නිමා කිරීමට ඉතා ආසන්න බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසයි. ඔහු මේ බව ඊයේ (23) කියාසිටියේ, එරට චැනල් 14 ප්‍රවෘත්ති නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

අගමැතිවරයා එහිදී පැවසුවේ, ඊශ්‍රායල හමුදා රෆා හි යුද්ධයේ ‘තීව්‍ර අවදිය’ මෙන්ම  සමස්ත ගාසා තීරයේ ‘දැඩි අදියර’  අවසන් කිරීමට ආසන්න බවයි.

කෙසේ වෙතත්, මෙයින් ගාසා තීරයේ පවතින ගැටුම් අවසන් කිරීමක් අදහස් නොවන අතර, හමාස් ඉලක්කවලට එරෙහි යුද මෙහෙයුම් අඛණ්ඩව පවතිනු ඇති බව ද ඔහු කියාසිටියේය.

එසේම, ගාසා තීරයේ දැඩි සටන් අවසන් කර උතුරු දෙසට ගමන් කරන බව ද නෙතන්යාහු මහතා පැවසීය. ඒ, ලෙබනන සන්නද්ධ කල්ලියක් වන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පූර්ණ යුද්ධයක් අරඹන බවට ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීම් පිළිබඳව සිහිපත් කරමිනි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ,  ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් පවතී. එහි සටන් විරාමයක් සඳහා වන ඕනෑම ගිවිසුමක් තම රටේ නියමයන් සපුරාලිය යුතු බව ද ඔහු පැවසීය.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයෙන් ඉවත් කර, පලස්තීන ප්‍රදේශයේ තවමත් රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 100 ක පමණ පිරිස නිදහස් කර ගැනීමේ ගිවිසුමකට පමණක් තම රට එකඟ වන බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම