ජනතා කේන්ද්‍රීය නීති පරිපාලන සංකල්පයේ වැදගත්කම
2024-06-19 16:01:25
Share with:

නීත්‍යනුකූල පරිපාලනය රටක පැවැත්ම සඳහා ඉතා වැදගත් ය. යම්කිසි රටක්  නීතියේ ආධිපත්‍යයෙන් ගිලිහුණහොත් එම රටෙහි සමාජ, ආර්ථික සහ දේශපාලන යන සියලු අංශයන්හි පිරිහීමක් මිස දියුණුවක් ඇති නොවනු ඇත. එහෙයින් ඕනෑම රටක් කාලීනව නීති ප්‍රතිසංස්කරණය කරමින් සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් ශක්තිය ලබා දිය යුතුය. ඒ සඳහා විවිධ අංශවල සිදුවන වෙනස්කම් ද සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් විග්‍රහ කිරීමේ දී මෑතකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කළ ප්‍රකාශය විමසා බැලීම සුදුසු ය. රටක් ජනතා කේන්ද්‍රීය නීත්‍යනුකූල පාලනයකට අනුගත විය යුතු බවත්, එම පද්ධතිය නවීණ සමාජ දියුණුව සමග යාවත්කාලීන විය යුතු බවත් පෙන්වාදෙන චීන ජනාධිපතිවරයාගේ එම සංකල්පය නීත්‍යනුකූල පරිපාලනයක් ඔස්සේ ස්ථාවරභාවය සාක්ෂාත් කිරීමේ දී රටකට ඉතා වැදගත් බව නීතිඥ තීක්ෂණ රත්නායක මහතා පවසයි.

නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය පිළිබඳ විමසා බැලිය හැක. දණ්ඩ නීති සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත යනු බ්‍රිතාන්‍යය යටත්විජිතවාදී පාලන සමයේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ නීති ක්‍රම දෙකකි. එකල සමාජ අවශ්‍යතාවන්ට අනුව ඔවුන් එම නීති සකස් කළ ද වර්තමාන නවීන තාක්ෂණික දියුණුව සහ සමාජ වෙනස්වීම් සමග එම නීති ප්‍රායෝගිකව භාවිත කිරීමේ අපහසුතා පවතී. නවීන විද්‍යුත් ක්‍රමවේද අනුව සිදුවන මුදල් ගනුදෙනු සම්බන්ධව මෙන්ම වීඩියෝ තාක්ෂණය මගින් සාක්ෂි විමසීම පිළිබඳව පූර්වයෙහි නීති සකස් කර නොතිබිණ. පසුකාලීනව පැනනැගුණු අවශ්‍යතා අනුව එම නීති සංශෝධන සිදු වූ බව රත්නායක මහතා පෙන්වාදෙයි.

එමෙන්ම ගෝලීයකරණය සමග ලොව සියලු ක්ෂේත්‍ර ඉතා වේගයෙන් පරිවර්තනයකට ලක්වෙමින් පවතී. විවිධ නවෝත්පාදන ලොවට හඳුන්වා දීමත් සමග එම අංශයන් ද ආවරණය වන අයුරින් නීති සම්පාදනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවේ 2019 අංක 22 දරණ ජාතික නවෝත්පාදන නියෝජිතායතන පනත හඳුන්වා දෙනු ලැබීය. කාලීන ප්‍රතිසංස්කරණවලින් බැහැර වුවහොත්, එසේම නවෝත්පාදන අංශ නීතිමය නියාමනයකට ලක් නොවුණහොත් නීතියේ සාධාරණත්වය පිරිහී යනු ඇත. එහිදී නවෝත්පාදනයන්ගේ පරාසය හඳුනා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි. එහෙයින් මෙය අනිවාර්ය කාලීන අවශ්‍යතාවක් වන බව ද ඔහු සඳහන් කරයි.

සෑමවිටම රටක නීති සකස් විය යුත්තේ ජනතා සුබසිද්ධිය උදෙසා විය යුතු අතර, එහි තිරසර පැවැත්ම වෙනුවෙන් කාලානුරූපව එම නීති ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුය. මේ අනුව චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නීති පරිපාලන සංකල්පය ලොව විවිධ අංශවල දියුණුවත් සමග ඇති වන නව ප්‍රවණතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු පුළුල් අදහසකි.  එමෙන්ම එමගින් සියලු රටවල සිදු වන නව සමාජ සංවර්ධනයන් සමග නීති පරිපාලනයේ වැදගත්කම මනාව පෙන්නුම් කර ඇති බව ද නීතිඥ තීක්ෂණ රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම