චීන-ඔස්ට්‍රේලියානු සබඳතා තර කිරීමේ ප්‍රශස්ත ප්‍රවණතාව ඉදිරියට ම
2024-06-19 12:41:45
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ මෙවර ඔස්ට්‍රේලියානු නිල චාරිකාවේ දී දෙපාර්ශ්වය වැදගත් එකඟතා රැසකට එළඹ තිබේ. උපායමාර්ගික ආර්ථික සංවාදය, නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාවට නැංවීම, යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා, චීනයට ඇතුළු වීමේ දී වීසා රහිත පහසුකම ඒකපාර්ශ්විකව ලබා දී ඇති රටවල් ලැයිස්තුවට ඔස්ට්‍රේලියාව එක් කිරීම යනාදී කරුණු ඊට ඇතුළත් ය.

චීන අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු නිල චාරිකාව ඉකුත් 15 වැනි දා සිට 18 වැනි දා දක්වා පැවැත්විණ. ‘චීන-ඔස්ට්‍රේලියානු වාර්ෂික අගමැති හමුවේ ප්‍රතිලාභ පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ ද එහිදී නිකුත් කරනු ලැබීය. ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා කියා සිටියේ, මෙවර චීන අගමැතිවරයාගේ චාරිකාව දෙරට සබඳතා තහවුරු කර ඇති බවයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය සහ දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීම යන අවස්ථාවන් හි 10 වැනි සංවත්සර මේ වසරට යෙදී තිබේ. ගෙවුණු දශකය තුළ, දෙරට සබඳතාව ස්ථාවරව නොපැවති අතර, විවිධ අභියෝගවලට ද ලක්විය. එරට මින් පෙර බලයේ සිටි රජයන් දෙකම එම යුගවල දී චීනයේ 5ජී අන්තර්ජාල ව්‍යාපෘති හා ශින්ජ්‍යං උයිගුර් ස්වායත්තය සහ දකුණු චීන මුහුද පිළිබඳ කරුණුවල දී  ඇමරිකාව අනුගමනය කරමින් චීනය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කළේය. එහෙත්, 2022 වසරේ මැයි මාසයේ එරට කම්කරු පක්ෂය බලයට පැමිණීමෙන් පසු චීනය පිළිබඳ ප්‍රතිපත්ති සංශෝධනය කර තිබේ. එමගින් දෙරට සබඳතාව යළි පණගැන්වී ඇත.

චීනය හා ඔස්ට්‍රේලියාව එම ප්‍රශස්ත ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? දෙරට අතර වෙනස්කම් පැවතිය ද අන්‍යෝන්‍ය ගරුත්වය හා සමානාත්මතාව සහතික කිරීම එහිදී වැදගත් වනු ඇත.

චීනය හා ඔස්ට්‍රේලියාව ආසියා-ශාන්තිකර කලාපයට අයත් රටවල් දෙකකි. ඓතිහාසික එදිරිවාදිකම් හෝ සැඟවුණු වාසි මුල් කර ගත් ගැටුම් නොමැති දෙරට පොදු එකඟතාවන්ගෙන් යුතු වේ. Anthony Albanese අගමැතිවරයා පසුගිය දා ලිපියක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිමය ශක්‍යතාව මැනිය හැක්කේ මතභේද නිසි ලෙස නිරාකරණය කිරීමේ හැකියාව මත මිස ගැටුම් ඇති කරගැනීමේ හැකියාව මත නොවන බවයි. එසේ නම්, තවදුරටත් ඇමරිකාවේ ප්‍රතිලාභ රැකදීම සඳහා චීනයට පීඩා එල්ල කරන්නේ ද, නොඑසේ නම් තම ප්‍රතිලාභ සලකා චීනය නිසි අයුරින් හඳුනාගෙන ක්‍රියා කරන්නේ ද යන්න ඔස්ට්‍රේලියානු රජය විසින් තීරණය කළ යුතුව ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම