තාවකාලිකව ආනයනය අත්හිටවූ වාහන ගෙන්වීම යළි ඇරඹීමට කමිටුවක්
2024-06-18 16:54:50
Share with:

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති රථවාහන ගෙන්වීම යළි ආරම්භ කරන්නේ කෙසේ දැයි සොයා බැලීමටත්, ඉදිරියේදී එම කටයුතු සිදු කරන ආකාරය සහ වැඩපිළිවෙළ සැකසීමටත් කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

විදුලි වාහන ආනයනය කෙරෙහි එම කමිටුවෙන් විශේෂ අවධානය යොමු වනු ඇත. වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘජුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමා ලිහිල් කෙරෙන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙළකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

එහිදී පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන, ජනතාව විකල්ප ලෙස යොදා ගන්නා යතුරු පැදි මෙන්ම මෝටර් රථ සහ ඉන් අනතුරුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කිරීම සිදු කෙරෙනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම