ක්‍රිස්තියානි රටක් පිහිටුවීමේ මුවාවෙන් ඉන්දියාව ආශ්‍රිත රටවලට අනිසි බලපෑම් එල්ල කරන ඇමරිකාව
2024-06-15 17:34:23
Share with:

බංග්ලාදේශය, මියැන්මාරය සහ ඊසානදිග ඉන්දියාව ආශ්‍රිතව ක්‍රිස්තියානි රටක් ගොඩනැගීමට ඇමරිකානු CIA සංවිධානය සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය සැක පළ කරයි. පසුගිය 13 වැනිදා පළ වූ ලිපියක මේ බව දැක්වේ.

බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina මහත්මිය මැයි මස අවසානයේ දී හදිසියේ ප්‍රකාශ කර තිබුණේ වරක් ‘සුදු ජාතිකයන්’ ඇයට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවන් හි සඳහන් වූයේ, එරට නව ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීමට ඇය එකඟ වන්නේ නම් 2024 වසරේ ජනවාරි 7 වැනිදා පැවති මැතිවරණයේ දී ඇයට කරදරයක් සිදුනොවන බව එම යෝජනා‍වට ඇතුළත් වූ බවයි.  එහෙත් Sheikh Hasina අගමැතිවරිය ඊට එකඟ වී නැත. එය නැගෙනහිර ටිමෝරය වැනි ක්‍රිස්තියානි රටක් පිහිටුවීම සඳහා බංග්ලාදේශයෙන් සහ මියන්මාරයෙන් ඉඩම් කැබැල්ලක් කඩා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් වන බව ද ඇය පවසා තිබිණ.

ඉන්දියානු " Goa Chronicle" පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, Sheikh Hasina මහත්මිය පවසන ‘සුදු ජාතිකයන්’ ඇමරිකානුවන් බවට බොහෝ දෙනා අනුමාන කරන බවයි. බෙංගාල බොක්කේ පිහිටි Saint Martin නම් උපායමාර්ගික වටිනාකමක් සහිත දූපතක් පිළිබඳව ඇමරිකාව සෑමවිටම සැලකිලිමත් වන අතර අගමැතිනි Sheikh Hasina ට සහ ඇය අයත් වන බංග්ලාදේශ අවාමි ලීග් පක්ෂයට සහාය දීම සඳහා ඇමරිකානුවන් Saint Martin දූපතේ පාලනය අතට ගන්නා බවට කටකතා පවතින බව ද එම පුවත්පත කියයි.

Hasina මහත්මිය මෙහිදී බංග්ලාදේශය සහ මියන්මාරය කෙරෙහි පමණක් අවධානය යොමු කළද, ඉන්දියාවේ Manipur ප්‍රාන්තයේ වර්තමානයේ පවතින නොසන්සුන්තාව අනුව, මෙහිදී පුළුල් ආරක්ෂක අනතුරු ඇඟවීමක් කිරීමට සිදු වන බව ද " Goa Chronicle " පුවත්පත පෙන්වා දී තිබේ. එසේම, Kuki, Chin සහ Mizo යන ජාතීන්ට පොදු සංස්කෘතික හා ආගමික අනන්‍යතාවක් සතු වන අතර ඔවුන් වඩා පුළුල් ස්වයං පාලනයක් අපේක්ෂා කරන බවට ද එහිදී විශ්වාසය පළ කර තිබේ. ‘එක්සත් කිතුනු රටක්’ පිළිබඳ සංකල්පයකට ඔවුන් දැඩි ලෙස ආකර්ෂණය වනු ඇත. මෙම තත්ත්වය ඉන්දියාවට උපායමාර්ගික අභියෝගයක් වනු ඇති අතර, කලාපීය අස්ථාවරත්වය උග්‍ර කර ප්‍රාදේශීය බලවේග ප්‍රතිසංවිධානය කිරීමට පවා බලපානු ඇතැයි ද එම පුවත්පත පවසයි.

මියැන්මාරය හෝ බංග්ලාදේශය හෝ වේවා, ඉන්දියාවේ අසල්වැසි රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව මැදිහත් වීමෙන් අනිසි පිටස්තර බලපෑම් ඇති වන බවට ඉන්දියානු First Post පුවත්පත ද අනතුරු අඟවා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම