ජනතාවට ප්‍රශස්ත ජීවන තත්ත්වයක් සහතික කිරීම වෙනුවෙන් කැපවන බව ශ්‍රී ලංකා ජනපති කියයි
2024-06-14 16:56:28
Share with:

සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රශස්ත ජීවන තත්ත්වයක් සහතික කිරීම සහ රටේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා කැපවී ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. තමා කිසිවිටෙකත් රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් ඉවත් වී නැති බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. 2023 දෙසැම්බර් මාසය අවසානය වන සිට සමාජ සුබසාධන වියදම් හැර සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවත්, 2024 අප්‍රේල් මාසය අවසන් වන විට බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක යම් ප්‍රමාදයකින් යුතුව හෝ සම්පූර්ණ කර ඇති බවත් එම අරමුදල සඳහන් කර ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.

රටේ දැන් නව ආර්ථිකයක් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. චීනය, ජර්මනිය, වියට්නාමය වැනි රටවල් ක්‍රියාවට නැංවූයේ ද එවැනි ක්‍රියාමාර්ගයක් බව ද ඔහු පැවසීය.

සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ මෙවර තේමාව ‘බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය’  යන්නයි. 45 වැනි වරට මෙවර සංවිධානය කෙරුණු සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම