ජනතා විරෝධතා මධ්‍යයේ G7 සමුළුව ඇරඹේ
2024-06-14 10:48:15
Share with:

G7 සමුළුව ඊයේ(13) දකුණු ඉතාලියේ Puglia ප්‍රදේශයේ Fasano නගරයේ දී ආරම්භ විය. එම ස්ථානය ආසන්න ප්‍රදේශයේ එදින විරෝධතා රැසක් ද පැවැත්විණ.

රුසියා-යුක්රේන ගැටුම, ගාසා තීරයේ තත්ත්වය, දේශගුණික විපර්යාස සහ කෘත්‍රිම බුද්ධිය ආදී කරුණු පිළිබඳව මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත. G7 හි නායකයින්ට අමතරව, රටවල් සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන දහයකට වැඩි ගණනක නායකයින් මේ සඳහා එක්ව සිටියහ. ඉතාලි අගමැති Giogia Meloni මහත්මිය සිය ආරම්භක දේශනයේ දී, පොදු සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා, G7 සංවිධානය ලොව අනෙකුත් රටවලට ද විවෘත කළ යුතු බව පැවසුවාය. එමෙන්ම ගාසා තීරයේ යුදමය තත්ත්වය සහ රුසියා-යුක්රේන ගැටුම වැනි ප්‍රශ්න කඩිනමින් විසඳීමට අමතරව, ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

සමුළුව පැවැත්වූ ස්ථානයට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි Brindisi නගරයට, එදින විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස්ව සිටියහ. ඔවුන් පාරිසරික ආරක්ෂාව, සමාජ සමානාත්මතාවය සහ සාමය ආරක්ෂා කිරීම ආදී අවස්ථාවලදී G7 සංවිධානය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු නොකිරීම පිළිබඳව මෙන්ම, ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට නිශ්චිත පියවර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව සිය විරෝධය පළ කර ඇත.

මෙම සමුළුව හෙට(15) අවසන් වීමට නියමිත ය. විදෙස් වාර්තාවලට අනුව එම ස්ථානය අවට දිනපතා විරෝධතා පැවැත්වෙන අතර ඉතාලි පොලිසිය විසින් 7000ක පමණ පොලිස් බල ඇණියක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම