සාමකාමී සංවර්ධනයකින් යුත් ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2024-06-13 09:03:39
Share with:

සාමකාමී සංවර්ධනයකින් යුත් ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (UNCTAD) 60 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ(12) පැවති සමාරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමිනි. 

ප්‍රධාන රටවල් ඇතුළු සියලුම රටවල් සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කළ යුතු අතර සමාන හා විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුගත වෙමින් වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව මෙන්ම පවතින අනෙකුත් බහුපාර්ශ්වික සංවිධානවලට ද ඵලදායී ලෙස සහයෝගය ලබා දිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධනට වැඩි අවධානයක් යොමු කිරීම, ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආර්ථික පරිසරයක් ගොඩනැඟීම, ඵලදායී ලෙස AI තාක්ෂණය භාවිත කිරීම, එක්සත් ජාතීන්ගේ රාමුව තුළ AI සම්බන්ධ නීති සහ පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ  හරිතකරණ ක්‍රියාවලිය සක්‍රීයව ඉදිරියට ගෙන යාම ද වැදගත් වනු ඇත. එමෙන්ම එවැනි ඩිජිටල්, ස්මාර්ට් සහ හරිත සංවර්ධනයක් වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය ලබා දිය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත.

ගෝලීය දකුණේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාජිකයෙකු වන චීනය, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් වැඩි වශයෙන් ආනයන සිදු කිරීමටත්, වෙළඳාම, ආයෝජන සහ සංවර්ධනය සඳහා වන සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද සහාය වන බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම