සිය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරන චීනයේ වත්මන් සංස්කෘතික ප්‍රවර්ධන වැඩපිළිවෙළ
2024-06-13 14:43:30
Share with:

චීනය දිගු ඉතිහාසයක් මෙන්ම උසස් ශිෂ්ටාචාරයක් සහිත රටකි. වසර දහස් ගණනක ‍මෙම ඓතිහාසික වටිනාකමත් සමග වර්තමාන චීන මහජන සමූහාණ්ඩුව ක්‍රමිකව නිර්මාණය වී ඇත. චීනයේ අගනුවර මෙන්ම අනෙකුත් නගරවල ද මෙම අභිමානවත් සංස්කෘතික ලක්ෂණ වර්තමානයේ ද වියැකී යාමට නොදී සුරක්ෂිත කර ඇති අයුරු දක්නට හැකිය. මිනිසාගේ සියලු නිර්මිතයන් සංස්කෘතිය ලෙස සැලකිය හැකි අතර චීනය ද ඒ අවකාශය තුළ විවිධ සංස්කෘතික වටිනාකම් නිර්මාණය කිරීමට සමත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලී මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා පවසයි.

විශේෂත්වය වනුයේ චීනය සිය ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික සාධක විධිමත් ලෙස ආරක්ෂා කිරීමට මෙන්ම ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. බෙයිජිං නගරයේ මෙන්ම විවිධ නගරවල පිහිටා ඇති කෞතුකාගාර සංවර්ධන වැඩපිළිවෙළ ද මෙහිදී වඩාත් සුවිශේෂ වේ. ඒ වෙනුවෙන් චීන ජනාධිපතිවරයා මෙන්ම චීන රජය ද නව ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. එය පෙර අගනගරයක්ව පැවති Xi'an නගරය තුළ මනාව පෙන්නුම් කෙරේ. එම නගරය තුළ චීන පැරණි ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුත් ගොඩනැගිලි මෙන්ම චීනයට අනන්‍ය වූ සෙවනැලි නාටක කලාව ද නොනැසී පවත්වා ගෙන යන අයුරු දක්නට හැකිය. එපමණක් නොව චීන අධිරාජ්‍ය පාලන සමයේ භාවිත කළ බෙයිජිං නගරයේ ඇති තහනම් මාලිගය, ගිම්හාන මාලිගය සහ රාජකීය උද්‍යාන ද මේ සඳහා කදිම නිදසුන් ය. මේ අයුරින් චීනය සතු ඓතිහාසික ස්මාරක එහි පුරාවිද්‍යාත්මක වටිනාකමට කිසිදු හානියක් නොවන පරිදි යළි ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරිපත් කර ඇති බව හෙතෙම කියා සිටී.

මෙම ඓතිහාසික ස්ථාන මෙන්ම චීන ශිෂ්ටාචාරය සමග පැවත එන සංස්කෘතික උත්සව වර්තමානයේ ද පැරණි සිරිත් විරිත්වලට අනුකූලව සමරනු ලබයි. පසුගිය දා පැවති මකර බෝට්ටු උත්සවය සහ සරත් සෘතුවේ පැවැත්වෙන මැද සරත් උත්සවය ආදී උත්සවවලදී Zongzi සහ Mooncake වැනි සම්ප්‍රදායික ආහාර අනුභවය ප්‍රධාන චාරිත්‍රයක් ලෙස සලකනු ලබයි. ‍මේ ඔස්සේ චීන ආහාර සම්ප්‍රදායේ වටිනාකම ලෝකයට ව්‍යාප්ත කර ඇත. මේ සියල්ල චීනය වර්තමානයේ ඉදිරිපත් කර ඇති නව සංස්කෘතික ශිෂ්ටාචරය තුළ ද නවමු ලෙස ඉදිරිපත් කර ඇත.

සංචාරක ආකර්ශනය නොඅඩුව දිනා ගත් ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රකාරය ද චීන සංස්කෘතික හරය මනාව ලොවට පෙන්නුම් කරන අද්විතීය සලකුණකි. එමෙන්ම චීනය සිය සංස්කෘතික උරුමයන් රැක ගනිමින්, ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ද අවස්ථා වැඩි දියුණු කර ඇත. ඒ අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් සමස්ත චීන ජනතාව සිය අනාගත පරපුරට චීන සංස්කෘතික වටිනාකම් සමීප කරවීමටත්, සමස්ත ලෝකය තුළ චීන අනන්‍යතාව සුරක්ෂිත කිරීමටත් ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම