සංස්කෘතියෙන් මෙන්ම සංවර්ධනයෙන් චීනය ලොවට තියුණු බලපෑමක් කර ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි
2024-06-11 10:11:02
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන හා සංස්කෘතික සම්බන්ධතාවය  දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි.  චීනය ලෝකයේ අද්විතීය රටකි. යුරෝපය ලෝකයට විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර චීනය ලෝකයට විද්‍යාත්මක අදහස් තිළිණ කර ඇත. මාලිමාව, ඩයිනමයිට් මෙන්ම කඩදාසි ඇතුළු ලෝකයේ නූතන ශිෂ්ටාචාරය නිර්මාණය කිරීමට අවශ්‍ය මූලිකාංග රැසක් චීනය ලෝකයට දායාද කර තිබේ. එයට පාදක වූ‍‍යේ චීනයේ තිබූ දාර්ශනික චින්තනයයි. චීන මහා ප්‍රාකාරය වැනි අතිවිශාල නිර්මාණ හරහා පෙන්නුම් කරන්නේ චීන සංස්කෘතියේ උදාරත්වයයි. කොන්ෆියුසියස් තුමාගේ දර්ශනය මෙන්ම අග්නිදිග ආසියාවේ තිබූ ලාඕට්සේ දර්ශනය ඇතුළු මේ සියල්ලෙන්ම චීනය ආසියාවට ද ඉතා තියුණු බලපෑමක් ඇති කළ බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

අතිශය විශාල භූමිස්කන්ධය තුළ සිටින අතිශය විශාල ජනගහනය චීනය ගොඩනැඟීමට උදව් කර ඇත. එම ආකෘතිය ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය ගොඩනැඟීමට ද මහත් අනුබලයක් සපයයි. චීනය සමග පසුගිය අවුරුදු 1500ක පමණ කාලයක පටන් තිබූ සබඳතාව නව මුහුණුවරකින් දැන් ක්‍රියාත්මක වේ. එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක කර ගැනීමට ‍ඓතිහාසික දෘෂ්ටිකෝණයක සිට හැකියාව පවතින බව ද මහාචාර්ය සෝමදේව මහතා සඳහන් කළේය.

ඉතාම දුෂ්කර අවධියක සිටි චීනය ගත වූ වසර 75ක් තුළ අත්කරගෙන ඇති සංවර්ධනය දෙස විමසිලිමත් වීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඉතා වැදගත් පාඩමක් ඉගෙනගත හැකිය. වෙළඳ හවුල් කරුවන් නොසිටි, රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොතිබූ යුගයක සිට වර්තමානය වන විට ලෝකයේම නිෂ්පාදන සැපයුම් ජාලය බවට පත් වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය සහ ජනතාවගේ කැප කිරීමේ ශක්තිය ප්‍රබල සාධකයක් විය. ගත වූ වසර 40ක් තුළ නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ පියවරෙන් පියවර ගොඩනැඟුන චීන ආර්ථික සංවර්ධනයෙන් මේ වන විට බිලියන 1.4ක් ඉක්මවූ චීන ජනතාවගේ ජීවිත සුපෝෂණය කිරීමට හේතු වී ඇත. දූෂණ විරෝධී පාලනයක් හඳුන්වා දුන් චීන ජනාධිපතිවරයා ජනතා කේන්ද්‍රීය නිවැරදි සංවර්ධන දැක්මක් සමග දරිද්‍රතාවය තුරන් කිරීමේ යාන්ත්‍රණය ඔස්සේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ පදනම ද සකස් කර ඇති අතර ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉන් ප්‍රතිලාභ හිමි වේ.

චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය හරහා සැමට සමෘද්ධිය උදා කර දී, සංස්කෘතික සංවර්ධනය හා සාමකාමී වර්ධනයක් කරා ප්‍රවේශ වීමටත් චීනයට හැකි වී තිබේ. බටහිර රටවල් නවීකරණයේදී ඔවුන්ගේ ‍යටත් විජිතවලින් සූරා කමින් කරන ලද සම්පත් මං කොල්ලය වෙනුවට චීනයේ නවීකරණ වැඩසටහන සිය භූමිය තුළින්ම උපයා ගත් ආර්ථීක සංවර්ධනයක් ඔස්සේ අත් කර ගැනීම ඉතා සුවිශේෂ වන බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම