විශ්වසනීයත්වය පිරිහෙන ජපාන මෝටර් රථ කර්මාන්තය
2024-06-07 11:50:34
Share with:

Suzuki ඇතුළු ජපන් මෝටර් රථ සමාගම් පහක් වාහන පිළිබඳව කළ පරීක්ෂා කිරීමේ දී ඒ සම්බන්ධයෙන් අසත්‍ය දත්ත ඇති බව පසුගියදා හෙළිදරව් විය. එය දෙස් විදෙස් වශයෙන් සෑම තරාතිරමකම පුළුල් අවධානයට යොමු ව තිබේ.  

මෙම සිදුවීමෙන් ජපානයේ මෝටර් රථවල ප්‍රමිතිය සහතික කිරීමේ ක්‍රමවේදය හා එහි පදනම දෙදරා ගියා පමණක් නොව, ජපාන මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීයත්වයට ද ඉන් දැඩි හානියක් සිදු වූ බව ජපාන කැබිනට් මහලේකම් HAYASHI Yoshimasa ද පිළිගත්තේය.

මෝටර් රථ, ජපානයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්තයක් වන අතර, වංචාව සහ දූෂණයේ පසුකාලීන බලපෑම වඩාත් බරපතල වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විදුලි වාහන නිෂ්පාදනයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ ජපාන මෝටර් රථ සමාගම් ඉන්ධන වාහන නිපැයුමෙන් ලද දැවැන්ත වාසි අහිමි වෙමින් පවතී.

ජපාන සමාගම්වල මෙවැනි ව්‍යාජ සහ නීති විරෝධී ක්‍රියාකාරකම් අහඹු සිදුවීම් නොවේ. එමෙන්ම ඒවා සිදුවන්නේ මෝටර් රථ කර්මාන්තයේ පමණක් ද නොවේ. 2023 ඔක්තෝබර් මාසයේ ජපාන දත්ත විශ්ලේෂණ සමාගමක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ජපන් සමාගම්වලින් 25% ක් පසුගිය වසර පහ තුළ මහජන මුදල් අයථා පරිහරණය, රෙගුලාසි-විරෝධී සහ වෙනත් නුසුදුසු හැසිරීම් සිදු කර ඇති බවයි.  එයින් 32.7% ක් නිෂ්පාදන තත්ත්ව අදාළ රෙගුලාසි කඩකිරීම්වලට සම්බන්ධ ඒවා යි.

ජපානයේ මෙවැනි ව්‍යාජ මෙහෙයුම් පිටුපස හේතු රැසක් පවතී.

පසුගිය දශක කිහිපය තුළ, ජපානයේ නිෂ්පාදන කර්මාන්තය කැපීපෙනෙන ජයග්‍රහණ ලබා ඇති නමුදු, පවතින අර්බුද පිළිබඳව ඇතැම් සමාගම්වලට ඇති දැනුවත්භාවය මඳවීමට ද එය ම බලපා තිබේ. එසේම,  අවශ්‍ය නවෝත්පාදන සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අකමැති වීම ද හේතු වී ඇත. මීට අමතරව, ජපන් නියාමන බලධාරීන්ට ප්‍රමිති සැකසීම, අධීක්ෂණය සහ දඬුවම් යාන්ත්‍රණ සම්බන්ධයෙන් ද අඩුපාඩු පවතී. අදාළ කුසලතා සංචිත ප්‍රමාණවත් නොවන අතර තාක්ෂණික ගැටළු ද උද්ගත ව ඇත.

රටේ ව්‍යවසායන්හි සිදුවන නිරන්තර වංචා නිසා ජපානයට හානි රැසක් සිදු ව තිබේ. රටේ සමස්ත නිෂ්පාදනයේ ප්‍රධාන අංගයක් වන මෝටර් රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවහොත් එය ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ද බාධාවක් විය හැකි බව විශ්ලේෂකයෝ කියාසිටිති.

ජපාන රජය සහ ව්‍යවසායන් පවතින තත්ත්ව නිවැරදිව වටහා ගනිමින් අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර, අන් අයට මෙන්ම තමන්ට ද  හානි සිදු කරගැනීම නතර කළ යුතුය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම