චීනය, කිර්ගිස්ථානය හා උස්බෙකිස්ථානය අතර දුම්රිය මාර්ග ව්‍යාපෘති‍යට අදාළ ගිවිසුමට අත්සන් තැබේ
2024-06-06 19:17:29
Share with:

 

චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය යන රටවල් තුන අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුමට අත්සන් තැබේ.

 එම ගිවිසුම අත්සන් තැබීමේ උළෙල අද(6) බෙයිජිංහිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov, උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev යන මහත්වරු එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණයෙන් සුබ පැතූහ.

චීන කිර්ගිස්ථාන උස්බෙකිස්ථාන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, චීනය හා මධ්‍යම ආසියාව අතර අන්‍යෝන්‍ය බැඳීම් හා ගමනාගමන පහසුකම් සංවර්ධනය පිළිබඳ උපායමාර්ගික ව්‍යාපෘතියක් බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එය රටවල් තුන විසින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සංකේතවත් ව්‍යාපෘතියකි. අදාල ගිවිසුමට අත්සන් තැබීමත් සමග, ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා ශක්තිමත් නීතිමය පදනමක් ගොඩනගා ඇත. එසේම චීන කිර්ගිස්ථාන උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය, සංකල්පයක සිට යථාර්ථයක් බවට පත් වීම ද ඉන් සිදුවෙයි. එමෙන්ම රටවල් තුන අත්වැල් බැඳගෙන සහයෝගතා හා පොදු සංවර්ධනය ඉටු කිරීමේ ස්ථිර අධිෂ්ඨානය මෙයින් පිළිබිඹු වී තිබේ.   චීනය සෙසු රටවල් දෙක සමග එක්ව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදාල සූදානම් කටයුතු මනා ලෙස සිදු කිරීමට කැමැත්තෙන් සිටියි. රටවල් තුනටත්, එහි ජනතාවටත් ප්‍රතිලාභී මෙන්ම, කලාපීය ආර්ථික සමාජයීය සංවර්ධනයටත් හිතකර වන එම උපායමාර්ගික ප්‍රවේශය කඩිනමින් සම්පූර්ණ කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියි.

චීන කිර්ගිස්ථාන උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය, රටවල් තුන විසින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ සිදු කරන වැදගත් ව්‍යාපෘතියක් බව කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතා ප්‍රකාශ කළේය. එම දුම්රිය මාර්ගය ආසියාවේ සහ යුරෝපය හා පර්සියා ගල්ෆ් රටවල් යා කරන නව ප්‍රවාහන මාර්ගයක් වනු ඇත. එම මාර්ගය, ඊට සම්බන්ධවන රටවල්, මුළු කලාපයේ අන්‍යෝන්‍ය සන්නිවේදනය හා ප්‍රවාහනය, ආර්ථික හා වෙළඳ හුවමාරුවලදී ඉමහත් වැදගත්කමක් දරන බව ද ඔහු කීය.

එම දුම්රිය මාර්ගය, චීනය හා මධ්‍යම ආසියානු රටවල් අතර කෙටිම ගොඩබිම් මාර්ගයක් වනු ඇති අතර දකුණු ආසියාවේ හා මැදපෙරදිග රටවල වෙළඳපොල සඳහාත් ප්‍රවේශයක් සලසා දෙනු ඇතැයි උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා ප්‍රකාශ කළේය. කලාපීය රටවල් හා චීනය අතර සහයෝගතාව පුළුල් කිරීමටත් අන්තර් රාජ්‍ය මිත්‍රත්වය ගැඹුරු කිරීමටත් එය ඉවහල් වන අතර විවිධ රටවල තිරසර පැවැත්මටද  ගැලපෙන බව ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම