චීනය නවයුගය කරා ගමන් ගන්නේ නොසැලෙන සංස්කෘතික විශ්වාසයක් සමගිනි
2024-06-04 09:59:23
Share with:

තම රට සතු අනන්‍ය අතීත වටිනාකම් අත නොහැර අනාගත සමෘද්ධිය සාක්ෂාත් කරන්නේ කෙසේද යන්න ලොවට ප්‍රත්‍යක්ෂ කරවූ දේශයක් ලෙස චීනය හඳුන්වා දිය හැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා කියාසිටී.  චීනය සංවර්ධනය සඳහා අනුගමනය කළේ, තම ඓතිහාසික චින්තනයන් සහ සංකල්ප පදනම් කරගත් උපායමාර්ගික මෙන්ම නිර්මාණශීලී ක්‍රමවේදයකි. රටේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමේ දී ඔවුන් අතීත සම්ප්‍රදාය ගරු කරන ආකාරය චීනයේ චාරිකා කළ අවස්ථාවන් හි දී මනාව පැහැදිලි වූ බව ද හෙතෙම පෙන්වාදෙයි.

වත්මන් චීනයේ සංවර්ධනය නවෝත්පාදන, අතිනවීන සන්නිවේදනය, ඩිජිටල් ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි පුළුල් ක්ෂේත්‍ර කරා විහිද යයි. නවෝත්පාදන සඳහා චීන ජාතිකයන්ට නිරන්තර තල්ලුවක් සැපයුණේ ඔවුන්ගේ පුරාණ සංස්කෘතිය සතු නිර්මාණශීලිත්වය තුළිනි.  වයඹ දිග චීනයේ මොගාඕ ලෙන් බිතුසිතුවම්වල හමුවන පියාසරන දිව්‍ය අප්සරාවන්ගේ අලංකාර සිතුවම්, අභ්‍යවකාශය පිළිබඳව පුරාණ චීන ජාතිකයන් වෙත පැවති පරිකල්පනය මනාව සංකේතවත් කරන බව චීන විද්වත්හු පෙන්වා දෙති. ඉන් වසර දහසකට පසු චීනයේ අභ්‍යවකාශ සිහිනය සැබෑ වූයේ වසර 2003 දී Shenzhou-5 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයෙන්, ප්‍රථම චීන ගගනගාමියා අභ්‍යවකාශයට යැවීමත් සමගිනි. චීන සංස්කෘතියේ සැඟවුණු  මෙවන් වටිනා අර්ථ මතු කරගෙන ඒවා අනාගතයට ගැලපෙන සේ නවීකරණ ක්‍රමවේද ඔස්සේ සකසා ගැනීමට චීන ජාතිකයන් සතුව ඇති හැකියාව සුවිශේෂ වූවක් බව ද  සිල්වා මහතා කියාසිටී.

චීන ශිෂ්ටාචාරය යනු මෙලොව කිසිදු බාධකයකින් සිර කළ නොහැක්කක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම න්‍යායයන් සහ ප්‍රායෝගික භාවිතයන් හි දී නිර්මාණශීලීත්වය රැකගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය. රටක තිරසර පැවැත්ම ඒ මත රඳාපවතින බව ද චීන නායකයා මනාව විග්‍රහ කර ඇත.

මේ අනුව, චීන ජනාධිපතිවරයා තම ජනතාව තුළ දල්වන නොසැලෙන සංස්කෘතික විශ්වාසය නවයුගය කරා චීනය යන ගමනට අතිමහත් ගාමක බලයක් සපයන බව ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම