සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද ප්‍රවර්ධනය කළ යුතුයි - ජනපති
2024-06-01 17:32:51
Share with:

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේ දී ආරම්භ කරන බවත්, වසර 05 ක් තුළ කෘත්‍රිම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම හඳුන්වා දීම තම අරමුණ බවත් හෙතෙම කියාසිටී. එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමග 30 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය. 

කෘත්‍රිම බුද්ධිය භාවිතය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් එක්ව සකස් කළ යෝජනාවලිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. විශ්වවිද්‍යාල කිහිපයක් ම AI තාක්ෂණය භාවිත කෙරෙන ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පැවසූ සිසුහු ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ඉලක්ක පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ප්‍රධාන වශයෙන් තාක්ෂණය මත පදනම් වූ නව විශ්වවිද්‍යාල 4 ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ඉංජිනේරු පීඨ නොමැති විශ්වවිද්‍යාලවල එම පීඨ ආරම්භ කිරීමට ද පියවර ගැනේ.

මීට අමතරව, කෘත්‍රිම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ ඇරඹීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා කියාසිටියේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම