පිය සෙනෙහසින් රටේ දරු පරපුර අමතන චීන ජනපති
2024-06-01 17:17:08
Share with:

චීනය ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජුනි පළමුවැනිදා යි. ළමා පරපුර පිළිබඳ බොහෝ දේ වැඩි වශයෙන් අවධානයට ලක් වන අද දිනයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ළමා පරපුරේ අභිවෘද්ධිය කෙරෙහි දක්වන නිරන්තර සැලකිල්ල සිහියට නැගේ.

“ජීවිතය හරියට බොත්තම් සහිත ඇඳුමක් අඳිනවා වගෙයි. ඒ ඇඳුමේ පළමු බොත්තම වැරදියට දැම්මොත් ඉතුරු බොත්තම් ‍සේරම වැරදියට දැමේවි. ”යනුවෙන් ෂී ජින් පිං මහතා බො‍හෝ වර පවසා ඇත. එවන් උපමාවකින් හෙතෙම පෙන්වා දෙන්නේ ළමා වියේ  යහපත් ආධ්‍යාත්මික අඩිතාලමක් තිබීම අතිශය වැදගත් බවයි. පාසල් සිසුන් සමග අදහස් හුවමාරු කළ විවිධ අවස්ථාවල දී හෙතෙම “සිහිනය” හා“අභිලාෂය”යන වචන නිරන්තරයෙන් සඳහන් කර තිබේ. ළමා පරපුර රටක අනාගතයයි. ළමුන්ට නිසි අයුරින් මඟපෙන්වීම වැඩිහිටියන්ගේ වගකීමයි. යම් කෙනෙකුට බො‍හෝ අභිලාෂයන් තිබිය හැකි වුව ද ඒ අතරින් වැදගත්ම අභිලාෂය මාතෘභූමියේ සහ ජනතාවගේ යහපත සමග එකට බැඳිය යුතු බවත්, එම අභිලාෂයට ළමා වියේ සිතුම් පැතුම් බලපාන බවත් චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

එපමණක් නොව ළමා පරපුරේ හැකියා සංවර්ධනය පිළිබඳව ද හෙතෙම අදහස් දක්වා ඇත.“ඔබ ඉගෙන ගන්නා තරමට ඔබේ දැනුම වැඩිවෙනවා. ස්පොන්ජ් කැබැල්ලක් ජලය උරා ගන්නවා වගේ දැනුම අවශෝෂණය කරගන්න. පොතපතේ දැනුම පමණක් නොවෙයි, විෂය බාහිර දැනුමත් උපයා ගන්න. ඒ වගේ ම නිතරම හිතන්නත්, ප්‍රශ්න අහන්නත් අවශ්‍යයි. මේ විදිහට ඉගෙන ගන්න පුරුදු වුණාම ඔබේ නිර්මාණාත්මක හැකියාව තව තවත් වර්ධනය කරගන්න පුළුවන්.”යනුවෙන් 2013 වසරේ මැයි මාසයේ බෙයිජිං ළමා මැදුරේ දී ෂී ජින් පිං මහතා ළමා පරපුර දිරිමත් කළේ ය. ළමා පරපුරේ හැකියා සංවර්ධනය වෙනුවෙන් උසස් භෞතික සම්පත් ලබාදීමත්, විශේෂයෙන් පිටිසර හා දිළිඳු ප්‍රදේශවල පාසැල් ළමුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සපයාදීමත් චීන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව විධිමත් ලෙස ක්‍රියාත්මක කර තිබේ.

 එ‍මෙන් ම ළමා පරපුරේ සෞඛ්‍යය චීන ජනාධිපතිවරයාගේ නිරන්තර අවධානයට යොමුවන කරුණකි. නිරෝගීකම ජීවිතයේ උතුම්ම සම්පතයි. ළමා කාලයේ සිටම ශරීර සුවතා කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. ව්‍යායාම්වලට වඩාත් නැඹුරු වන ලෙසත්, සොබාදහමට වැඩි වශයෙන් සමීප වන ලෙසත්, හෙතෙම විශේෂයෙන් නාගරික දරුවන්ගෙන් ඉල්ලා සිටී. සෑම වසරකම පාසැල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කෙරෙන බෙයිජිං අගනුවර ස්වේච්ඡා රුක්රෝපණ වැඩසටහනට එක් වන චීන ජනාධිපතිවරයා සිය ක්‍රියාවෙන් ළමා පරපුරට මනා ආදර්ශයක් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම