පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්‍ය ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ
2024-05-31 13:41:10
Share with:

පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්‍ය ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ.

චීන-අරාබි රාජ්‍ය සහයෝගතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුව ඊයේ (30)  බෙයිජිංහි දී පැවති අතර, දෙපාර්ශ්වය එහිදී පලස්තීන ප්‍රශ්නය පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර  තිබේ.

අදාළ නිවේදනයට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2728 දරන තීරණය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ  අදාළ තීරණ, පූර්ණ හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව දෙපාර්ශ්වයේ පොදු අදහසකි. එසේම ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාවට නංවා පලස්තීන ප්‍රශ්නයට අංගසම්පූර්ණ, සාධාරණ හා තිරසර විසඳුමක් සෙවීම පෙළඹවිය යුතු බව ද එහි සඳහන් ය. 

ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට අඛණ්ඩව සිදුකරන හිංසන චීන-අරාබි රාජ්‍ය දෙපාර්ශ්වය හෙළාදකී. පලස්තීන ජනතාව බලහත්කාරයෙන් සිය භූමියෙන් බැහැර කිරීම පිළිබඳ සැලැස්ම, එම අරමුණ හා අදාළ ක්‍රියාකාරකම්වලට දෙපාර්ශ්වය වි‍රුද්ධ වේ.  

අංගසම්පූර්ණ හා තිරසර සටන් විරාමයක් උදාකිරීම සඳහා බලසම්පන්න තීරණයක් ගන්නා ලෙස චීනය හා අරාබි රටවල් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටී. පලස්තීන ජනතාව බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීම නතර කිරීමටත්, ගාසා තීරයේ සියලු ප්‍රදේශවලට සහනාධාර ප්‍රවාහනය කිරීමේ පහසුකම් සහතික කිරීමටත් පියවර ගන්නා ලෙස එම නිවේදනයෙන් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති. පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට බාධා කිරීම සඳහා නිෂේධ බලය භාවිත කරන ඇමරිකාව කෙරෙහි දෙපාර්ශ්වයේ චෝදනා එල්ල වී ඇත. 

වඩාත් පුළුල් හා ඉහළ අධිකාරි බලයක් ඇති,  ඵලදායී ජාත්‍යන්තර සාම සාකච්ඡා පවත්වන ලෙස ද ඔවුහු ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටිති. පිළිගත් ජාත්‍යන්තර මූලධර්මයට අනුකූලව ගාසා තීරය, ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලම යන ප්‍රදේශවල  පරිපාලන කටයුතුවල නිරතවීම සඳහා පලස්තීනයට දෙපාර්ශ්වය ම සහාය දක්වයි. ගාසා තීරය පලස්තීන රාජ්‍යයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙස සැලකිය යුතු බව ද චීන-අරාබි රාජ්‍ය ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම