යුරෝපා කලාපයත්, චීනයත් අතර සබඳතාවන්ට නව අර්ථකථනයක් රැගෙන ආ චීන ජනපතිගේ යුරෝපා චාරිකාව
2024-05-30 15:37:11
Share with:

රාජ්‍ය නායකයෙකුගේ නිල චාරිකාවක් කිසියම් උත්සව අවස්ථාවකට හෝ ආචාර සමාචාරවලට පමණක් සීමාවන්නක් නොවන අතර, එය කිසියම් රටක ජාතික අභිලාෂයන් හා බැඳුණු කරුණකි.  චීන නායක ෂී ජින් පිං මහතා එවන් යුරෝපා චාරිකාවකට එක්වූයේ වසර 5 කට පසුවයි. එසේම ඔහු මේ චාරිකාවේ නිරත වන්නේ යුරෝපා කලාපය පමණක් නොව,  මුළුමහත් ලෝකයම අර්බුද ගණනාවක පසුවන මොහොතක යි. රුසියාව හා යුක්‍රේනය අතර මෙන්ම ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර බිහිසුණු සටන් පවතින මේ අවස්ථාවේ ගෝලීය වශයෙන් අතිශය නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත. එසේම මේ වනවිට  චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ අර්බුදයක් ද පවතී. ඒ සියල්ලම හමුවේ චීන නායකයා තම සහයෝගිතා ප්‍රතිපත්තිය විදහා දක්වමින් යුරෝපා චාරිකාවට එක්වූ බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක විජය දිසානායක මහතා පෙන්වා දෙයි.

ෂී ජින් පිං මහතා තම යුරෝපා චාරිකාව ආරම්භ කළ ප්‍රංශයේ දී එරට ජනාධිපති එමාමානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ද ලෙයන් මහත්මිය සමග ද සාකච්ඡා පැවැත්වීය. එසේම චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගත් යුරෝපයේ පළමු මහ රාජ්‍යය වන්නේ ද ප්‍රංශයයි. එම සබඳතාවන්ට මේ වසරේ දී වසර 60 ක් සපිරෙන බවද දිසානායක මහතා සිහිපත් කරයි.

චීන නායකයා මෙම චාරිකාවේ දී සර්බියාව හා හංගේරියාව වෙත ද පැමිණියේය. මෙම යුරෝපා රටවල් දෙක යුද්ධය පවතින අවස්ථාවේ පවා රුසියාව සමග සම්බන්ධතා පැවැත්වීම කැපීපෙනෙන  කරුණකි. එසේම යුක්‍රේන අර්බුදයේ දී චීනය රුසියාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඇතැම් යුරෝපා රටවල කනස්සල්ලක් පැවතිය ද චීන නායකයා මේ චාරිකාවේ දී තමාට ද  යුරෝපයේ මිතුරන් සිටින බව ලොවට මනාව පෙන්නුම් කළේය. ප්‍රංශයේ දී පමණක් නොව සර්බියාව සහ හංගේරියාවේ දී ද චීන ජනාධිපතිවරයා සහ පෙං ලියුවාන් ආර්යාවට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

කොසෝවෝ යුද්ධය පවතින අවස්ථාවේ සර්බියාවේ අගනුවර චීන තානාපති කාර්යාලයට එල්ල වූ නේටෝ ප්‍රහාරයට වසර 25 ක් සපිරෙන මොහොතේ චීන නායකයා එරට බෙල්ග්‍රෙඩ් අගනුවරට පැමිණීම ද කැපීපෙනෙන සිදුවීමක් බව විජය දිසානායක මහතා කියාසිටී.  එසේම, බුඩාපේස්ට් අගනුවර දී චීනය සහ හංගේරියාව අතර  සහයෝගිතා ගිවිසුම් 18 කට වැඩි සංඛ්‍යාවකට අත්සන් තැබීම ද විශේෂත්වයකි. ඒ, දුම්රිය මාර්ග, සන්නිවේදන සහ න්‍යෂ්ටික බලශක්තිය ඇතුළු අංශ ගණනාවක විහිදුණු ව්‍යාපෘති සඳහා යි. එසේම චීන නායකයා ඉදිරිපත් කළ පුළුල් සංවර්ධන සංකල්පයක් වන ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ඉතා සක්‍රිය සාමාජිකයෙකු ලෙස ද හංගේරියාව හඳුන්වා දිය හැකිය.

කෙසේවෙතත් යුක්රේන යුද්ධයට අදාළ ව යුරෝපා කලාපයත් චීනයත් අතර කිසියම් ආකාරයකින් පළුදු වූ සබඳතා, ෂී ජින් පිං මහතාගේ මෙවර චාරිකාවෙන් යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද විජය දිසානායක මහතා විහ්වාසය පළකරයි. මේ අතරතුර යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මහතා ලබන ජූනි 15 වැනිදා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡා සඳහා සහභාගි වන ලෙස චීන ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබීම ද සුවිශේෂ සිදුවීමක් බව ඔහු කියාසිටී.

චීන නායකයාගේ චාරිකාව ප්‍රංශය, සර්බියාව හා හංගේරියාව යන රටවල් ත්‍රිත්වය හා චීනය අතර ආර්ථිකමය අංශවලින් පවතින සබඳතා ද බොහෝ සෙයින් තර කරනු ඇත. එසේම, සර්බියාව හා හංගේරියාව යන දෙරටේම ප්‍රධානතම විදෙස් ආයෝජකයා වන්නේ ද චීනය යි. එහෙත්, තත්ත්වය මෙසේ පවතිද්දී පවා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යළිත් චීනයේ විද්‍යුත් මෝටර් රථ කර්මාන්තයට බාධා සිදුවන අයුරින් සම්බාධක පනවා තිබේ. මේ අනුව, ආර්ථික සබඳතා, යුක්රේන යුද්ධය, ආරක්ෂණවාදී ප්‍රතිපත්ති මෙන්ම චීන ආයෝජන සම්බන්ධයෙන් යුරෝපා කලාපයේ රටවල් අතර පවතින බෙදීම ද ජනපති චාරිකාව තුළින් මනාව ප්‍රකට වී ඇති බව කිව හැකිය.

මේ සියලු කරුණු හේතුවෙන් චීන නායක ෂී ජින් පිං මහතා නිරත වූ යුරෝපා චාරිකාව එම කලාපය හා චීනය අතර පවතින සම්බන්ධතා ඉතිහාසයේ කිසියම් සන්ධිස්ථානයක් සටහන් කරන බව ද ප්‍රවීණ විදෙස් විත්ති විචාරක විජය දිසානායක මහතා පෙන්වාදෙයි.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම