චීන - යුරෝපා සබඳතා තර කිරීම පොදු මානව ප්‍රජාව පිළිබඳ සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමේ පියවරකි
2024-05-30 16:13:34
Share with:

යුද්ධයේ ප්‍රචණ්ඩත්වයෙන්  මුළු ලොව ම පීඩාවට පත්ව සිටින අවස්ථාවක චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර යුරෝපා සංචාරයේ  නිරත වූයේ සාමයේ සහ අන්‍යෝන්‍ය සහයෝගිතාවන් හි පවතින වැදගත්කම යළි අවධාරණය කරමින් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ, ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් සෙනරත් මහතා කියාසිටී.

චීන ජනාධිපතිවරයා මෙවර චාරිකාවේ දී පළමුවෙන් ම පැමිණි රට වූ ප්‍රංශය යි. ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග පැවති හමුවේ දී දෙපාර්ශ්වය ඉතා වැදගත් එකඟතා රැසකට එළඹිණ. අභ්‍යවකාශ, න්‍යෂ්ටික බලශක්ති හා නවෝත්පාදන යන අංශවල පමණක් නොව හරිත බලශක්තිය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යන නවීන ක්ෂේත්‍රවල දෙරට සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේය. ප්‍රංශයේ උසස් කෘෂි නිෂ්පාදන සහ නවීන තාක්ෂණික උපකරණ ආනයනය පුළුල් කරන බව ද බව හෙතෙම පැවසීය.

සැබැවින්ම, ලොව සංවර්ධිත මෙන්ම බලසම්පන්න රාජ්‍ය අතර පැවතිය යුතු වන්නේ මෙවන් සබඳතා බව සෙනරත් මහතා පෙන්වාදෙයි. ලොවට අවශ්‍ය ව ඇත්තේ බලය මුල්කර ගනිමින් ආධිපත්‍යය පැතිරවීම නොව සහයෝගිතා ඔස්සේ පොදු අභියෝග ජයගැනීම බව චීන ජනාධිපතිවරයා මේ සමස්ත චාරිකාව තුළින් යළිත් සිහිපත් කරවීමට සමත් ව ඇත. දේශගුණික විපර්යාස, දේශපාලන ගැටලු වැනි ගෝලීය අර්බුද විසඳාගැනීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ප්‍රංශ, හංගේරියාව සහ සර්බියාව යන රටවල නායකයන් සමග පැවති හමුවීම්වල දී   චීන ජනාධිපතිවරයා මනාව විග්‍රහ කර තිබේ.

ලොව කලාප වශයෙන් බෙදී වෙන්ව පැවතීම තවදුරටත් ඵලදායක නොවන බව චීන ජනාධිපතිවරයා සෑමවිටම පෙන්වා දෙන කරුණකි. බලවත් රටවල් විවිධ කරුණු මුල් කරගනිමින් කඳවුරු බැඳීම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරයි. ගෝලීය මුලපිරුම් ත්‍රිත්වයෙන් ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ද එයයි. එහෙත්, චීනයේ ආර්ථික සංවර්ධනය නොරිසි බටහිර බලවේග දිගින් දිගටම චීනය කෙරෙහි අඛණ්ඩ ව මර්දන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටී. එහෙත් ඒ සියල්ල හමුවේ තම රටේ සංවර්ධනය වෙනුවෙන් සහ ලෝක සාමයේ ස්ථාවර පැවැත්ම වෙනුවෙන් චීන නායකයා දරන වෑයම අතිශය ප්‍රශංසනීය බව ද සෙනරත් මහතා ප්‍රකාශ කරයි. චීනය හා යුරෝපා කලාපය අතර සහයෝගිතා පුළුල් වීම ලොවට අවස්ථා රැසක් විවර කරදෙනු ඇත. එසේම, චීන නායකයා රැගෙන ආ පොදු මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ සංකල්පය තහවුරු කිරීම සඳහා ද එම සබඳතා මැනැවින් ඉවහල් වනු ඇත.

ලෝක සාමයේ පැවැත්ම හා තිරසර සංවර්ධනය වෙනුවෙන් චීනය දරන ප්‍රයත්න සඵල වේවා යන්න යහපත් අනාගතයක් අපේක්ෂා කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනය විය යුතු බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ, ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් සෙනරත් මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම