චීන-ජපාන-දකුණු කොරියානු ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව සුබවාදී අනාගතයකට මග කියනු ඇත
2024-05-28 10:59:09
Share with:

චීන-ජපාන-දකුණු කොරියානු නායකයන් එම රටවල් තුනේ සහයෝගිතා ක්‍රියාදාමය ආරම්භ කළේ 1999 වසරේ දීය. ඒ, ආසියාන් සංගම් රටවල හා අදාළ රටවල් තුනේ නායක සමුළුවට සහභාගි වන අතරතුර යි. චීන-ජපාන-දකුණු කොරියානු සහයෝගිතා ක්‍රියාදාමයේ එකල අරමුණ වූයේ ආසියාවේ උද්ගත වූ මූල්‍ය අර්බුදයට ඒකාබද්ධව මුහුණ දීම යි.

ගෙවී ගිය වසර 25 තුළ චීන-ජපාන-දකුණු කොරියානු ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව, කලාපීය හා ගෝලීය ආර්ථික වර්ධනය සහතික කිරීමේ දී සහ කලාපීය ඒකීයකරණයට නායකත්වය දීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ.

චීන-ජපාන-දකුණු කොරියානු 9 වැනි ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව Seoul අගනුවර දී ඊයේ (27) පැවැත්විණ. එහිදී එම ත්‍රෛපාර්ශ්වය ඒකාබද්ධ නිවේදනයක් පළ කර තිබේ. පසුගිය සමුළුවේ දී සම්මත කරගැනුණු "චීන-ජපාන-දකුණු කොරියානු සහයෝගිතාවේ ඉදිරි දශකය සඳහා වන දැක්ම" ක්‍රියාත්මක කිරීමටත්, ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා රටවල් තුන අතර සහයෝගිතා ප්‍රවර්ධනයටත් ඒකමතික එකඟතාව එහිදී ප්‍රකාශ කර ඇත.

අවුල් සහගත ජාත්‍යන්තර කැලඹිලි හා ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම මන්දගාමී ව පැවතීමේ තත්ත්ව යටතේ, චීන-ජපාන-දකුණු කොරියානු නායක සමුළුව පැවැත්වීම තුළින් එම රටවල් තුන තම සහයෝගිතා වැදගත් කොට සැලකීම සහ කලාපීය දේශපාලන වාතාවරණය උණුසුම් වීම පිළිබිඹු වන බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා මෙම සමුළුවේ දී යෝජනා පහක් ඉදිරිපත් කළේය. ආර්ථිකය, වෙළඳාම, විද්‍යා හා තාක්ෂණය සහ මානව හුවමාරු යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා යළි නිසියාකාරයෙන් ආරම්භ කොට තිරසර සංවර්ධනය සහතික කරන ලෙස හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

ත්‍රෛපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම හා සම්බන්ධ සාකච්ඡාව යළි ආරම්භ කරමින් කර්මාන්ත හා සැපයුම් දාම සහයෝගිතා ඇතුළු ආර්ථික හා වෙළඳ සබඳතා  වැඩිදුරටත් පුළුල් කරන බව එම රටවල් තුන මෙවර සමුළු‍වේ දී පවසා ඇත. එසේම “චීන-ජපාන-දකුණු කොරියානු නවෝත්පාදන හා සහයෝගිතා මධ්‍යස්ථානය” චීනයේ ස්ථාපනය කළ යුතු බවට ද චීන පාර්ශ්වය එම සමුළුවේදී යෝජනා කළේය.

මීළඟ අදියරේ දී චීනය, ජපානය සහ දකුණු කොරියාව බාහිර බලවේගවල මැදිහත්වීම් සහ විනාශයන් වළක්වා ගැනීමට එක්ව කටයුතු කරන්නේ නම් ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාවයෙන් පුළුල් ප්‍රගතියක් සාක්ෂාත් කළ හැකිවනු ඇතැයි ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම