ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා වෙනුවෙන්‍ ටෙහෙරාන් නුවර පැවති අනුස්මරණ අවස්ථාවට චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා එක්වෙයි
2024-05-23 09:09:09
Share with:

ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා වෙනුවෙන්‍ ටෙහෙරාන් නුවර ඊයේ(22) පැවති අනුස්මරණ අවස්ථාවට චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීන උප අග්‍රාමාත්‍ය චන්ග් ගුවෝචින්ග් මහතා එක්වෙයි.හෙතෙම ඉරාන අන්තර්වාර ජනාධිපති මොහොම්මඩ් මොක්හබෙර් මහතා ද හමුවී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු ද වන චන්ග් ගුවෝචින්ග් මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් රයිසි මහතාගේ අවාසනාවන්ත අභාවය පිළිබඳ හෘදයාංගම කණගාටුව ඉරාන රජය හා ජනතාව මෙන්ම රයිසි මහතා ගේ පවුල වෙත එහිදී පළ කර සිටියේය. මෙම දුෂ්කර අවස්ථාවේ චීන ජනතාව ඉරාන  ජනතාව සමග ශක්තිමත්ව සිටින බවද හෙතෙම කීය.තාවකාලික දුෂ්කරතා ජයගනිමින් විවිධ ජාතික කටයුතු ඉදිරියට ගෙන යාමට ඉරානයට හැකි බවට තමා විශ්වාස කරන්නේ යැයි ද  චන්ග් ගුවෝචින්ග් මහතා සඳහන් කර තිබේ.

රයිසි මහතා ඉරාන ආරක්ෂාව හා ස්ථාවරත්වය මෙන්ම ජාතික සංවර්ධනය හා සෞභාග්‍යය පවත්වා ගැනීමට වැදගත් දායකත්වයක්  දැක්වූ බවද චීන උප අගමැතිවරයා කීය.චීන ඉරාන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වෙනුවෙන් ඊබ්‍රාහිම් රයිසි මහතා සිදුකළ  ධනාත්මක මෙහෙවර ද ඔහුගේ ඇගයීමට ලක්විය. එතුමාගේ අවාසනාවන්ත අභාවය ඉරාන ජනතාවට විශාල පාඩුවක් මෙන්ම චීන ජනතාවට ‍හොඳ මිතුරෙකු අහිමිවීමක් ලෙසට ද හෙතෙම හැඳින්විය. චීනය ඒ පිළිබඳ දැඩි කණගාටුවට පත්වන බවද චීන උප අගමැතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම