ඇමරිකාවේ ඊනියා පනත් මගින් මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බව චීනය කියයි
2024-05-22 10:30:57
Share with:

 


ඇමරිකාවේ ඊනියා "උයිගුර් හි බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත" 21 වැනි සියවසේ මානව හිමිකම් උල්ලංඝනය කරන කුප්‍රකට ම නීතිය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  

BMW ඇතුළු මෝටර් රථ නිෂ්පාදකයන් ඇමරිකාවට අපනයනය කරන මෝටර් රථවල, බලහත්කාර ශ්‍රමය පිළිබඳ සැකයට ලක් වන චීන සැපයුම්කරුවන්ගේ කොටස් භාවිත කර ඇතැයි ඇමරිකානු කොංග්‍රසය පැවසූ බවට පසුගිය දා මාධ්‍ය වාර්තාවන් හි පළවිය. ඊට අදාළව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Wang Wenbin මහතා ඉහත අදහස් පළ කළේය.

ඇමරිකාවේ ඊනියා පනතින් සිදුවන්නේ බලහත්කාරයෙන් විරැකියාව නිර්මාණය කිරීම යි. මානව හිමිකම් ධජය යටතේ වෙසෙන ෂින්ජියංහි ජනතාවගේ පැවැත්මට, රැකියාවට සහ සංවර්ධනයට ඇති අයිතිවාසිකම් එමගින් උල්ලංඝනය කෙරෙන බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

දුෂ්ට චේතනාවෙන් යුතුව ගෙන එන මෙවන් නීතිවල අරමුණ චීන සමාගම්වලට අසාධාරණ ලෙස සම්බාධක පැනවීම යි. එපමණක් නොව, ඒවාට අනුකූල වෙමින් චීනය පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ වන ලෙස විවිධ රටවල සමාගම්වලට බලකිරීමට ද ඇමරිකාව උත්සාහ දරමින් සිටින බව Wang Wenbin මහතා පැවසීය. චීනයට එරෙහි ආර්ථික බලහත්කාර සන්ධානයක් ගොඩනැගීමට දරන උත්සාහයෙන් ඇමරිකාවේ හිංසන පිළිවෙත පිළිබිඹු වන බවත්, මෙම තත්ත්වය දැඩි ලෙස හෙළාදකින චීනය ඊට දැඩි විරෝධය පළ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම