ඇමරිකාව සහ තායිවාන බෙදුම්වාදී බලවේග කෙලෙස උත්සාහ දැරුව ද "එකම චීනය" මූලධර්මය නොසැලී පවතිනු ඇත
2024-05-22 11:15:24
Share with:

"තායිවාන බෙදුම්වාදය වෙනුවෙන් සේවය කරන්නෙකු" ලෙස තමා හඳුන්වා දෙන Lai Ching-te, පසුගිය දා චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා ලෙස වැඩ භාර ගත්තේය. ඉන් අනතුරුව පැවැත්වූ කතාවේ දී, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස "එකිනෙකාට අයත් නොවන" බව ඔහු විවෘතව ප්‍රකාශ කළේය. එවන් ප්‍රකාශ, බාහිර බලවේග මත යැපෙමින් ප්‍රචණ්ඩත්යෙන් බෙදුම්වාදය හඹා යාමේ උත්සාහය ප්‍රකට කරයි.

මේ අතර, Lai Ching-te ගේ ඊනියා දිවුරුම් දීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken සුබ පැතූ අතර, අදාල උත්සවයට සහභාගි වීමට ඇමරිකානු නියෝජිතයන් ද යවා ඇත. මෙය "එකම චීනය" මූලධර්මය සමඟ ගැටීම සඳහා, ඇමරිකාව සහ තායිවාන බෙදුම්වාදීන් මෙහෙයවන හවුලේ තවත් රංගනයකි. කෙසේවෙතත්, බෙදුම්වාදය අවුස්සාලීමට කෙතරම් උත්සාහ කළ ද, ජාත්‍යන්තර ප්‍රජාව  "එකම චීනය" මූලධර්මයට අනුගත වීම ඔවුන්ට කිසිසේත් වෙනස් කළ නොහැකි වනු ඇත.

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සබඳතාවල දේශපාලන පදනම වන අතර, දෙරට සබඳතාවල ඉක්මවිය නොහැකි රතු රේඛාව වන්නේ ද එය යි. පසුගිය නොවැම්බර් මාසයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති චීන-ඇමරිකා නායක හමුවේ දී, "තායිවාන බෙදුම්වාදී බලවේගයන්ට" සහාය නොදෙන බවට ඇමරිකානු නායකයා පැහැදිලි ප්‍රකාශයක් කළේ ය. එසේම, පසුගිය මාසයේ දෙරට නායකයන් අතර පැවති දුරකථන සංවාදයේ දී ද "එකම චීනය" මූලධර්මය අනුව ක්‍රියාකරන බව ඇමරිකාව යළිත් අවධාරණය කළේ ය. එහෙත්, එක් දෙයක් පවසා වෙනත් දෙයක් ක්‍රියාත්මක කිරීම ඇමරිකාවේ පිළිවෙත බවට පත් ව ඇත.

ජාත්‍යන්තර තත්ත්වය විමසා බැලීමේ දී පසුගිය වසර 8 තුළ ඊනියා තායිවාන පාලකයින් සමග "රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා" පැවැත්වූ රටවල් 10 ක් එම සබඳතා අතහැර දමා ඇත. ලොව පුරා රටවල් 183 ක් චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන්, "එකම චීනය"  මූලධර්මය ලෝක ජනතාවගේ අභිලාෂය බවත්, එය යුගයේ නිවැරදි ප්‍රවණතාව බවත් මැනැවින් සනාථ වී තිබේ.

වර්තමානයේ, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය මෙන්ම, ජාතික ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට මනා හැකියාවෙන් යුතු චීනය අධිෂ්ඨානශීලීව ඊට කැප වී සිටී. ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් සමඟ පවතින සියලු ආකාරයේ ‘නිල හුවමාරු’ වහා නතර කළ යුතු අතර, ඔවුන්ට අවිආයුධ සැපයීම වහාම නැවැත්විය යුතු ය.

එසේම, "එකම චීනය"  මූලධර්මය අනුගමනය කරමින්,  චීනයට දුන් බරපතල දේශපාලන පොරොන්දු ඉටුකිරීමට ද ඇමරිකාව පියවර ගත  යුතු ය. චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීන් සහ තායිවාන බෙදුම්වාදී බලවේග, රට බෙදීමට හා ජාතික අවශ්‍යතා පාවාදීමට තවදුරටත් කුමන්ත්‍රණය කළහොත්, ඔවුන්ට දැඩි දඬුවම් හිමිවනු නිසැක ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම