පොදු සංවර්ධන ප්‍රවේශයක් නිර්මාණය කළ චීන-යුරෝපා සහයෝගීතාව
2024-05-20 10:38:48
Share with:

වර්තමාන ගෝලීය ආර්ථික, දේශපාලන සහ සමාජීය පරිසරය වඩාත් තීරණාත්මක වී ඇත. විවිධ කලාපවල මතුව ඇති යුධමය තත්ත්වයන් ද ඒ සඳහා ප්‍රබල හේතුවක් වී තිබේ. මෙවැනි සන්දර්භයක ලොව සියලුම රටවල් අන්‍යෝන්‍ය සහයෝගයෙන් සාමුහිකව කටයුතු කිරීම ඉතා වැදගත් ය. විශේෂයෙන්ම ආසියානු කලාපය නියෝජනය රටවලට මෙහි දී සුවිශේෂ කාර්යභාරයක් පවතී. එහිදී චීනය සමස්ත ආසියාව වෙනුවෙන් ලොව සියලුම කලාප සමඟ වඩා උසස් සහයෝගීතාවක් වර්ධනය කර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි.

පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යුරෝපයේ රටවල් කිහිපයක සිදු කළ සංචාරය ගෝලීය අවධානයට ලක් විය. වර්තමාන ගෝලීය වටපිටාව තුළ චීනය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් සංවාද සහ සහයෝගීතා තුළින් පොදු අරමුණක කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත. ඉතාමත් වේගයෙන් ආර්ථිකය සහ වෙළඳාම තාක්ෂණික පරිවර්තනයකට යොමු වෙමින් තිබෙන අතර එහි දී පවතින අවස්ථාවන් හඳුනාගෙන අවදානම් අවම කර ගැනීමට රටවල් අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇත. චීන-ප්‍රංශ ජනාධිපතිවරුන් ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. නැනෝ තාක්ෂණය සහ වේගයෙන් දියුණු වන කෘත්‍රිම බුද්ධිය වැනි අංශ ආර්ථිකයට උචිත ලෙස කළමණාකරණය කර ගැනීම පිළිබඳ එහිදී දෙපාර්ශ්වය අවධානය යොමු කළ බව හෙතෙම සඳහන් කරයි. එලෙස රටවල් නැඟී එන තාක්ෂණික සාධක කෙරෙහි වි‍ශ්ලේෂණාත්මකව අවධානය යොමු කිරීම වඩා සාධනීය පියවරකි.

යම් රටක ඇති වන අර්බුදකාරී තත්ත්වයන් වක්‍රාකාරයෙන් හෝ අන් සියලු රටවලට ද බලපෑමක් වනු ඇත. එය වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලියේ ස්වභාවයයි. එහෙයින් ලෝකයේ සියලු රටවලට පොදු වගකීමක් පවතින අතර, චීනය ඒ වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා බව මෙම යුරෝපා සංචාරය තුළින් ද පිළිඹිබු වේ. චීන-යුරෝපා ආර්ථික සහයෝගීතාව එහි එක් අවස්ථාවක් බව ද ආචාර්ය නෙලංග ජයසිංහ මහතා කියාසිටී. මේ ආකාරයෙන් ලොව ශක්තිමත් රටවල් පොදු සංවර්ධන ප්‍රවේශයක කටයුතු කිරීම අනාගත ගෝලීය අවදානම් මඟහරවා ගැනීමට ඉතා වැදගත් වන බව ආචාර්ය නෙලංග ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම