මියැන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මියැන්මාර වැඩබලන තානාපතිනි ලෙයි යි වින් මහත්මිය සමග අරලියගහ මන්දිරයේ 16 වැනිදා පැවති හමුවේ දී හෙතෙම මේ බව කියාසිටියේය. මැණික් හා ස්වර්ණාභරණ, තේ, පොල් සහ ඛනිජ ද්‍රව්‍ය වෙළඳාම, බෞද්ධ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ හැකි බව අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ථේරවාදී බුදු දහමේ සුරක්ෂිතතාව වෙනුවෙන් මියැන්මාරයෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළ අගමැතිවරයා, උපසම්පදාව මෙරට ස්ථාපිත කිරීමට ලබාදුන් සහායෙන් දෙරට අතර ආගමික සහයෝගය තහවුරු වූ බව ද පැවසීය.
ආනයන අපනයන සහ ආර්ථික සහයෝගිතාවේ විභවතා සහිත ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා මියැන්මාරයේ යැංගූන්හි පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගි විය හැකි බව වැඩබලන තානාපතිනිය පැවසුවාය.
මේ වසරේ දී මියැන්මාරය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරේ. දෙරට අතර බෞද්ධ සබඳතා තවදුරටත් තර කළ යුතු බව ද ඇය කියාසිටියාය.