ලෝක සාමය කෙරෙහි අවංක සැලකිල්ල දක්වන රට චීනය බව ප්‍රංශයේ හිටපු අගමැතිවරයෙක් කියාසිටී
2024-05-19 19:24:05
Share with:

මෙලොව සාමය කෙරෙහි අවංක සැලකිල්ල දක්වන රටක් ඇත්නම් ඒ අනිවාර්යයෙන්ම චීනය බව ප්‍රංශයේ හිටපු අගමැති Jean-Pierre Raffarin මහතා කියාසිටී.

චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී හෙතෙම මේ බව පැවසීය.

‍චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 60 වැනි සංවත්සර සැමරුම, එකල එම සංකල්පය ඉදිරිපත් කළ දෙරට නායකයන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් බව Raffarin මහතා කියාසිටී. චීනයේ සංවර්ධනය, ‍යුරෝපයට චීනයේ ඇති වැදගත්කම මෙන්ම චීනය හා යුරෝපය අතර සාමකාමී සම්බන්ධතාවයේ වැදගත්කම ඔවුහු එකල ප්‍රත්‍යක්ෂ කර සිටියහ. ප්‍රංශ චීන සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳව කිවහොත්, ප්‍රථමයෙන්ම ලෝක සාමය කෙරේ අවධානය යොමු කළ යුතු බව ද Raffarin මහතා පෙන්වා දුන්නේය.

චීනය සෑමවිටම ලෝක සාමය කෙරෙහි අවංක සැලකිල්ල දක්වයි. චීනය කිසි විටක විදේශයක යුද්ධයක් අරඹා නැත. චීනය ප්‍රතිප්‍රහාර එල්ල කළේ ආක්‍රමණයන්ට ලක් වූ අවස්ථාවල දී පමණකි. එසේම,

චීනය හා චීන ජනතාව සාමය කෙරෙහි සිය උණුසුම් ආදරය විදහා පා ඇත. එබැවින් ප්‍රංශ චීන සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳ කල්පනා කිරීමේ දී ද මුලින්ම ලෝක සාමය හා සමබරතාව ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ද ප්‍රංශයේ හිටපු අගමැතිවරයා කියාසිටියේය. 

චීන ජනාධිපතිවරයා පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ, අත්දැකීම් සම්භාරයක් හිමි දැවැන්ත රටක නායකයකු ලෙස ෂී ජින්පිං මහතා තම ගෞරවයට පාත්‍ර වන බව යි. සමාජ අභ්‍යන්තරය ස්පර්ශ කරන ඔහු රටේ බොහෝ ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල එක්වන නිසා තම රට පිළිබඳ මනා අවබෝධයකින් යුතුය. මේ ලෝකයේ වැඩිම බලපෑම් ශක්තියක් මෙන්ම වැඩිම වගකීම් දරා සිටින නායකයෙකු ලෙස ෂී ජින්පිං ජනාධිපතිවරයා හඳුන්වා දිය හැකි යැයි ද ඔහු කියාසිටී. චීනයට පමණක් නොව, ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනයන්හි දී ද ෂී ජින්පිං මහතාට වැදගත් බලපෑම් ශක්තියක් ඇති බව ද  ඔහු කියා සිටියේය.

ගෝලීය පාලනය සඳහා  චීනය විසින් ඉදිරිපත් කරන ලද මුලපිරුම් අතිශයෙන් වැදගත් වන බව Raffarin මහතා පවසයි. දැනට ලොව පවතින ඇතැම් යුද ආතතිමය තත්ත්වයන්, ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පවතී. අනාගතය පූර්වයෙන් දැකීම අපහසු කරුණකි. එහෙත් චීනය ඉදිරිපත් කළ නව චින්තන හා නව සංකල්ප ඉතා නිවැරදි මෙන්ම ඉදිරිගාමී  ය.

කෙසේ හෝ ලොව පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කළ යුතුය. යුරෝපයේ මෙන්ම අප්‍රිකාවේ ද සාමය උදා කළ යුතුය. විවිධ රටවල් එක්සත්ව නොසන්සුන්තාව සමනය කළ යුතුය. මෙය වත්මන් යුගයේ අප සතු වැදගත්ම කටයුත්ත යි. සහයෝගය පුළුල් වෙද්දී, ආතතිමය තත්ත්වය අඩු වනු ඇතැයි ද ප්‍රංශයේ හිටපු අගමැතිවරයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම