චීන අගමැති සහ රුසියා ජනපති අතර හමුවක්
2024-05-17 09:19:23
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින රුසියානු ජනාධිපති Vladimir Putin මහතා  හමු වෙයි. ඒ ‍ඊයේ(16) බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය.

එහිදී චීන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දෙරටේ රාජ්‍ය නායකයින්ගේ උපායමාර්ගික මඟපෙන්වීම ඔස්සේ, චීනය සහ රුසියාව කිසිදු තුන්වන පාර්ශ්වයක් ඉලක්ක කර නොගෙන ගිවිසුම්ගත නොවීම, ගැටුම් ඇති නොවීම යන පදනම මත ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගෙන ඇති බවයි.

ප්‍රධාන රටවල් අතර සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය සඳහා මනා ආදර්ශයක් සපයමින් දෙපාර්ශ්වය, විවිධ ක්ෂේත්‍රවල පවතින ප්‍රායෝගික සහයෝගීතාව සහ මානව හුවමාරු ක්‍රමයෙන් වර්ධනය කර, මිත්‍රශීලී සබඳතා සඳහා මහජන සහයෝගය ද උසස් ලෙස සහතික කර ඇත.

මෙම වසර‍ට චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සම්පූර්ණ වේ. එහෙයින් දෙරටේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කර, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා රාජ්‍ය නායකයන් දෙදෙනාගේ මඟපෙන්වීම සහ දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බව Li Qiang මහතා එහිදී කියාසිටියේය. සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වර්ධනය කිරීමට චීන-රුසියා සංස්කෘතික වසර අවස්ථාවක් කර ගත යුතු බව ද හෙතෙම පැවසීය.

“එක් තීරයත් එක් මාවතක් වැඩපිළිවෙළ” සහ යුරේසියානු ආර්ථික සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, කලාපීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, වෙළඳාම ලිබරල්කරණය සහ ඒ සඳහා පහසුකම් සලසමින් ආර්ථික, වෙළඳාම, බලශක්ති වැනි අංශවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ Vladimir Putin මහතා පැවසුවේ, දෙරටේ සබඳතාව අන්‍යෝන්‍ය සමානාත්මතාවය සහ ජයග්‍රාහී ප්‍රතිලාභ මත පදනම් වන බවත්, එය දෙරටේම අවශ්‍යතාවලට ද අනුකූල වන බවයි.

වර්තමානයේ රුසියානු-චීන සබඳතා ඉහළම මට්ටමට පැමිණ ඇති බව සඳහන් කළ Putin මහතා, දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින්, නව යුගය සඳහා රුසියා-චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය නව මාවතකට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද  සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම