තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනට රු. මිලියන 1600 ක්
2024-05-17 15:22:52
Share with:

මෙම වසරේ, රටේ දිස්ත්‍රික්ක 25 තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160 ක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 1600 ක මුදලක් වෙන්කෙරේ. මේ අනුව, සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එවැනි ගම්මාන 06 බැගින් ඉදිකිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගැනේ. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ යි.

මේ අදහස් පළකෙරුණේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙළ පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී ඊයේ (16) පැවති සාකච්ඡාවේ දී ය.

මේ යටතේ එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය. කෘෂිකර්මාන්තයට යොමුවන තරුණ ප්‍රජාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වාදීම, දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයනය ඉලක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙමගින් අපේක්ෂිත යි.

එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග හා වැවිලි බෝග වගාව මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මානයන් හි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම