චීන රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා
2024-05-16 13:24:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී අද (16) උදෑසන පැවැත්විණ.

චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය මෙම වසරේ දෙරට සබඳතා සංවර්ධනය පිළිබඳ වැදගත්ම තේමාව වන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර තලයේ විවිධ විපර්යාස සහ අභියෝගවලට දෙරට සාර්ථකව මුහුණ දී ඇත. විශාල මෙන්ම අසල්වැසි රටවල් දෙකක් ලෙස චීනය හා රුසියාව අන්‍යෝන්‍ය ගරුත්වය රැක ගනිමින්, අවංක හා ජයග්‍රාහී සුසංයෝගයකින් යුතුව කටයුතු කිරීම පිළිබඳ ආදර්ශනයක් බවට පත් ව ඇතැයි ද ඔහු පැවසීය.

ගෙවි ගිය වසර ගණනාවක් තුළ, තමා ව්ලැඩ්මිර්  පූටින් ජනාධිපතිවරයා සමඟ හමුවීම් 40 කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇති අතර, සමීප සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය. ඉන් දෙරට සබඳතාවේ යහපත් සංවර්ධනයට උපායමාර්ගික නායකත්වය ලබා දී ඇති බව ද ඔහු පැවසීය. අසීරුතා මැදින් දිනා ගත් වර්තමාන චීන-රුසියානු සබඳතාවේ සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයම දැඩි සැලකිල්ල යොමු කර එහි ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

චීන-රුසියානු සබඳතාවේ ස්ථාවර සංවර්ධනය දෙරටේ මෙන්ම දෙරට ජනතාවගේ මූලික ප්‍රතිලාභ හා ගැලපේ. එසේම එය කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය, සමෘද්ධියටත් හිතකර වන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. නව ගමනේ දී, අන්‍යෝන්‍ය විශ්වාසය සහිතව රුසියාවේ හොඳ අසල්වැසියෙකු, මිතුරෙකු මෙන්ම හවුල්කරුවෙකු වීමට චීනය කැමැත්තෙන් සිටියි. රුසියාව සමඟ එක්ව ජනතාව අතර දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කිරීමටත්, දෙරට සංවර්ධනය සාක්ෂාත් කිරීමටත්, ගෝලීය සමානාත්මතාව හා යුක්තිය ආරක්ෂා කිරීමටත් චීනය අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

ජනපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම නිල සංචාරය ලෙස එකිනෙකාගේ රටවලට පැමිණීමේ මිත්‍ර සම්ප්‍රදාය ගොඩනැගීම පිළිබඳව ව්ලැඩ්මිර් පූටින් මහතා එහිදී සිය ප්‍රශංසාව පළ කළේය. නවයුගයේ චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කිරීම කෙරෙහි දෙරට දක්වන ඉහළ අවධානය ඉන් පිළිබිඹු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

චීන-රුසියානු සබඳතාව තාවකාලික හවුල්කාරීත්වයක් ‍නොවන අතර, එය කිසිදු තුන්වැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොගනී. රුසියානු-චීන සහයෝගිතාව වර්තමාන ජාත්‍යන්තර වේදිකාවේ ප්‍රධාන මෙන්ම ස්ථාවර සාධකයක් බව ද පූටින් මහතා කියාසිටියේය.

 ඉන් අනතුරුව ෂී ජින් පිං මහතා සහ ව්ලැඩ්මිර් පූටින් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ශ්වය අතර ගැඹුරු සාකච්ඡාවක් පැවැත්විණ.

මෙවර සංචාරය පූටින් මහතා නව ජනපති සේවා කාලය ආරම්භ වීමෙන් පසු සිදු කළ ප්‍රථම විදෙස් සංචාරය බවත් චීනය සමග සම්බන්ධතාවය කෙරේ ජනාධිපතිවරයා හා රුසියානු රජය දක්වන දැඩි සැලකිල්ල මෙයින් පිළිබිඹු වන බවත් ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. චීන පාර්ශ්වය මේ පිළිබඳව ඉහල ඇගයීමක් ලබා දෙන බව ද ඔහු කීය.

මෙම වසර චීන රුසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වැනි සංවත්සරයයි. පොදු උත්සාහය යටතේ චීන රුසියානු සම්බන්ධතාවය ස්ථාවර ව ඉදිරියට වර්ධනය වී තිබේ. දෙරටේ සම්පූර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණය පුළුල් වීමත් සමග ආර්ථික, වෙළඳ, ආයෝජන, බලශක්ති, මානව, සංස්කෘතික, ප්‍රාදේශීය යන ක්ෂේත්‍රවල සහයෝගතා අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය හා ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ප්‍රජාතන්ත්‍රවාදීකරණය සඳහා සක්‍රිය මෙහෙවරක් ඉටු කර ඇතැයි ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙකක් හා නවීන වෙළඳපොල සහිත රටවල් දෙකක් වශයෙන්, චීනය හා රුසියාව උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා පුළුල් කිරීම සහ ලෝක බහුධ්‍රැවකරණය හා ආර්ථික ගෝලීයකරණයට අනුගතව ක්‍රියා කිරීම, දෙරටේ පොදු උපායමාර්ගික තෝරාගැනීම් ය. රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකා උපායමාර්ගික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වීය සහයෝගතාවේ අන්තර්ගතය පොහොසත් කරමින් දෙරටටත් දෙරටේ ජනතාවටත් වැඩි සුබසෙත නිර්මාණය කිරීමට එක්ව උත්සාහ කළ යුතු යැයි ෂී ජින්පිං මහතා කියා සිටියේය. 

පූටින් ජනාධිපතිවරයා සමග එක්ව ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ නිවැරදි දිශාව සහතික කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා වෙනුවෙන් නව සැලසුම් සකස් කිරීමට තමා සූදානම් බව ඔහු ප්‍රකාශ  කර ඇත.

රුසියානු - චීන අන්තර් රාජ්‍ය සහයෝගතා යාන්ත්‍රණය මනා ලෙස ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා එහිදී සඳහන් කළේය. ආර්ථික, කෘෂි, වෙළඳ, කාර්මික, බලශක්ති හා සන්නිවේදනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ස්ථාවරව වර්ධනය වෙමින් පවතී. දෙරට සම්බන්ධතාව සංවර්ධනය වී ඇත්තේ සුහද අසල්වැසිභාවය, අන්‍යෝන්‍ය ගරුත්වය හා එකිනෙකාට සහාය වී‍ම පිළිබඳ මූලධර්මය මත හිඳ විවිධ අභියෝග ද ජය ගනිමිනි. ‘වසර 2030 ට පෙර රුසියානු - චීන ආර්ථික සහයෝගතා සැලැස්ම’ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම, රුසියානු - චීන සංස්කෘතික වසරට අදාළ ක්‍රියාකාරකම් මනාව සංවිධාන කිරීම, යුරේසියානු ආර්ථික සන්ධානය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම යන කටයුතුවල දී චීනය සමග එක්ව ක්‍රියා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව පූටින් මහතා පැවසීය. 

ජාත්‍යන්තර හා කලාපීය ගැටලුවල දී සාධාරණ ස්ථාවරයක සිට ක්‍රියා කරන චීනය රුසියාවේ පැසසුමට ලක් වේ. ලෝක බහුධ්‍රැවකරණය හා ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ප්‍රජාතන්ත්‍රවාදීකරණය ප්‍රවර්ධනය කරමින් රුසියානු - චීන අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරීත්වයෙන් ඉහළ ජයග්‍රහණ දිනාගැනීම සඳහා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීමට ද රුසියාව සූදානමින් සිටින බව පූටින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ "චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවයුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය" ට අත්සන් තැබූහ. මීට අමතරව ආර්ථික, වෙළඳ, ස්වභාවධර්මය සුරැකීම, රෝග පරීක්ෂණ හා මාධ්‍ය යන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගතා ලේඛනවලට අත්සන් තැබීම නායක දෙපළ ඉදිරියේ සිදුකෙරිණ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම