චීන ජනපති හා රුසියානු ජනපති මාධ්‍ය හමුවක
2024-05-16 17:52:24
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, අද (16) බෙයිජිං හි මහජන මහා ශාලාවේ  පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව යි.

 තමා පුටින් ජනාධිපතිවරයා සමග කරුණු රැසක් පිළිබඳව අවංක හා සුහද ලෙස සාකච්ඡා කරමින්, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව අරඹා ගෙවී ගිය වසර 75 තුළ දෙරටේ සම්බන්ධතාවයේ සාර්ථකත්වය මෙන්ම එහි වර්ධනීය අත්දැකීම් සම්පිණ්ඩනය කළ බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටි‍යේය. එසේම, ද්විපාර්ශ්වික හා පොදු සැලකිල්ලට ලක් වන කලාපීය හා ගෝලීය ප්‍රශ්න පිළිබඳව ද ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් බව හෙතෙම පැවසීය. මීළඟ අදියරේ දී දෙ‍රට සම්බන්ධතාවය හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා සම්බන්ධයෙන් ද නිසි සැලසුම් සකස් කර ඇත. "චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවයුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය" ට එහිදී අත්සන් තැබුණු බව ද චීන ජනාධිපතිවරයා පැවසීය. තමා, පූටින් ජනාධිපතිවරයා සමග අන්තර් රාජ්‍ය හා විවිධ ක්ෂේත්‍ර පිළිබඳ වැදගත් සහයෝගතා ලේඛනවලට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වූ බවත් එම සහයෝගතා දෙරටේ සම්බන්ධතාවයට නව ගාමක බලයක් එකතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. 

දෙරටේ පොදු ප්‍රතිලාභ පුළුල් කර,  තමන්ට අනන්‍ය ශක්‍යතා විදහා පාමින් දෙරටට හිමි ජයග්‍රහණ දිනා ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් සහාය වීම තමා හා පූටින් ජනාධිපතිවරයාගේ ඒකමතික අදහස වන බව ද ෂී ජින්පිං මහතා පැවසීය. සහයෝගතා ව්‍යුහය යහපත් කරමින් ආර්ථික හා වෙළඳ ඇතුළු සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල සහයෝගතාවේ මනා වර්ධන ප්‍රවණතාව පවත්වා ගෙන යාමට ද නායක දෙපළ එකඟ වී තිබේ. 

එසේම, මූලික විද්‍යා විෂයයන් අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාල වේදිකා ගොඩනගමින් ප්‍රමුඛ ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට දෙරට කටයුතු කරනු ඇත. වරායන්, ගමනාගමන, භාණ්ඩ ප්‍රවාහන පිළිබඳ සහයෝගතා ශක්තිමත් කරමින් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය හා රුසියාව ඒකාබද්ධ ප්‍රයත්න දරනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

මෙම වසර චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය බව ද ෂී ජින්පිං මහතා එහිදී  සිහිපත් කළේය. සියවසක හතරෙන් තුනක කාලයක් තුළ චීන-රුසියානු සම්බන්ධතාව අසීරුතා හා අභියෝග ජයගෙන තවදුරටත් ශක්තිමත් වී තිබේ. නවයුගයේ දී දෙරට සම්බන්ධතාව ප්‍රශස්ත ලෙස ඉහළ නංවා ඇත. සහයෝගතා අන්තර්ගතය ද ක්‍රමයෙන් පොහොසත් වී ඇති අතර පාරම්පරික මිත්‍රත්වයේ සංකල්ප ජනතාවගේ සිත් තුළ තදින් රැඳී පවතී. චීන-රුසියානු සම්බන්ධතාව නවීන ස්වරූපයේ ජාත්‍යන්තර සම්බන්ධතා හා දැවැන්ත අසල්වැසි රටවල් දෙකක් අතර සබඳතා පිළිබඳ ආදර්ශයක් බවට ද පත් ව තිබේ. නව ඓතිහාසික ආරම්භයක සිට දෙපාර්ශ්වය සිය මූලික අභිලාෂය සුරකිමින්, වගකීමෙන් යුතුව දෙරට ජනතාවට සුබසෙත නිර්මාණය කරන අතර ම ලෝක ආරක්ෂාව හා ස්ථාවරත්වයට දායක විය යුතු යැයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

රුසියාව දිගුකලක් තිස්සේ සිය විශ්වසනීය සහයෝගතා හවුල්කරුවෙකු ලෙස චීනය සලකන බව ව්ලැදිමීර් පූටින් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා ආරක්ෂක යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට තම රට කැමත්තෙන් පසුවන බව ද ඔහු පැවසීය. ‘රුසියානු - චීන සංස්කෘතික වසර’ පිළිබඳ ක්‍රියාකාරකම් මනා ලෙස සංවිධාන කිරීමටත් මානව හා සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමටත් පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර වේදිකාවේ දෙරට අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බහුධ්‍රැවකරණ ලෝක පටිපාටියක් ප්‍රවර්ධනය කිරීමට රුසියාව අපේක්ෂා කරයි. කලාපීය හා ලෝක සාමය මෙන්ම සංවර්ධනය සහතික කිරීම උදෙසා, චීනය සමග බ්‍රික්ස් රටවල් හා ශැන්හයි සහයෝගතා සංවිධානය වැනි රාමු තුළ පවතින සහයෝගතා මෙන්ම, වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද පූටින් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම