චීන විදේශ අමාත්‍යවරයා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය සමුළුවට එක්වීමට සූදානම්
2024-05-16 14:49:47
Share with:

චීන විදේශ අමාත්‍යවරයා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය සමුළුවට එක්වීමට සූදානම්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වීමට සූදානම් වෙයි. එම සමුළුව ලබන 20, 21 දෙදින කසක්ස්ථානයේ Astana නගරයේදී පැවැත්වෙනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (16) මේ බව ප්‍රකාශ කළේය.

කසක්ස්ථානයේ උපඅග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය Murat Nurtleu සහ ටජිකිස්ථාන විදේශ අමාත්‍ය Sirojiddin Muhriddin යන මහත්වරුන්ගේ ඇරයුම් අනුව, වං යී මහතා ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා එම රටවල් දෙකේ නිල සංචාරයන් හි නිරත වනු ඇත. ඒ අතරතුර වං යී මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය සමුළුවට සහභාගි වන බව වං වෙන්බින් මහතා පැවසීය.

සමුළුවට සමගාමීව වං යී මහතා වෙනත් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ඒ, වත්මන් ගෝලීය හා  කලාපීය තත්ත්වය, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධන ඉදිරිදැක්ම සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා යන තේමාවන් ඔස්සේ යි. මේ වසරේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ද වං වෙන් බින් මහතා පැවසීය.

ඊට අමතරව, වං යී මහතා කසක්ස්ථානෙය් හා ටජිකිස්ථානයේ  නායකයන් සහ විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතය. ද්විපාර්ශ්වික සබඳතා හා පොදු අවධානය යොමුවන ගෝලීය හා කලාපීය කරුණු පිළිබඳව එහිදී අදහස් හුවමාරු කෙරෙනු ඇත.

චීන ජනාධිපතිවරයා දෙරටේ නායකයන් සමඟ එළඹුණු පොදු එකඟතා නිසි ලෙස ක්‍රියාත්මක කරමින්, විවිධ ක්ෂේත්‍රවල පවතින සහයෝගිතා මෙම සංචාරය මගින් තහවුරු වනු ඇතැයි යන්න චීනයේ විශ්වාසය යි. එසේම, එමගින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කර, කලාපීය සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා නව දායකත්වයක් ලබා දිය හැකි වනු ඇතැයි ද වං වෙන්බින් මහතා පැවසීය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම