චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යුරෝපා චාරිකාව ගෝලීය ආර්ථික ප්‍රවණතාවයේ එක් වැදගත් ලක්ෂණයක් මෙන්ම සංසිද්ධියක්
2024-05-15 15:16:41
Share with:

චීන ජනාධිපති ෂි ජින් පිං මහතාගේ පස් දින යුරෝපා සංචාරය පිළිබඳව ගෝලීය මාධ්‍ය තුළ විශේෂ ඉඩක් වෙන් කෙරිණ. චීන යුරෝපා සම්බන්ධතා, බටහිර සහ චීනය අතර සම්බන්ධතාවය මෙන්ම යුරෝපය සහ ඇමරිකාව අතර ඇති සම්බන්ධතාවයට මින් වන බලපෑම වැනි විවිධ පැතිකඩවලින් සාකච්ඡාවට බඳුන් වූ දේශපාලන සාකච්ඡාවක් සහිත අන්තර්ජාතික සබඳතා පිළිබඳ සංසිද්ධියක් ලෙස මේ චාරිකාව හැඳින්විය හැකි බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක ප්‍රසාද් දොඩංගොඩගේ මහතා පෙන්වා දේ. දේශපාලන වශයෙන් චීනය පිළිබඳව ඇමරිකාව සහ යුරෝපය දැරූ මතයෙන් ඔබ්බට ගොස් හංගේරියාව සහ සර්බියාව චීනය සමග සබඳතාව වර්ධනය කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණ. හංගේරියාව තුළ සමස්ථ චීන ආයෝජන ප්‍රමාණය යුරෝ බිලියන 16ක් පමණ වේ. මෙවර චාරිකාවේ දී හංගේරියාවේ යුරෝ බිලියන 2ක දුම්රිය පද්ධතියක් සඳහා ගිවිසුම් අත්සන් තැබීය. මීට පෙර චීන දැවැන්ත විදුලි වාහන නිෂ්පාදන සමාගමක් හංගේරියාවේ බැටරි නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. එයත් යුරෝපා කලාපයේ දැවැන්ත ආයෝජනයකි.

සර්බියාව 2023 වසරේදී නිදහස් වෙළඳ ගිවිසුමක් ද ඇතුළුව ගිවිසුම් 18කට එළබිණ. හංගේරියාව මෙන්ම සර්බියාව ද චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන සමග තිරසරව රැදී සිටී. මෙම චාරිකාවේ දී වඩාත් හවුල්කාරී ලෙස මේ රාජ්‍යන් සමග ආර්ථික සබඳතා ගොඩනඟා ගනිමින් කටයුතු කිරීමත් එමෙන්ම මේ රාජ්‍යන්හි උන්නතිය සඳහා චීනය තිරසරව කටයුතු කිරීමත් චීන ජනාධිපතිවරයා විසින් තහවුරු කර ඇති බව ද ප්‍රසාද් දොඩංගොඩ මහතා කියා සිටී.

යුරෝපා රටවල් අතර අන්තවාදී මතවාදයන්ගෙන් බැහැරව ගිය රාජ්‍යක් ලෙස ප්‍රංශය හැඳින්විය හැකිය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සඳහන් කළේ චීනය යුරෝපයට අවශ්‍ය හවුල්කරුවෙක් බවයි. ප්‍රධාන යුරෝපා බලවතෙක් ලෙස ජර්මන් චාන්සලර් Olaf Scholz මහතා ද මෑත දී චීනයේ සංචාරය කරමින් චීනය සමග හවුල්කාරී සබඳතාව ශක්තිමත් කිරීමට කටයුතු කර තිබේ. චීනය සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්‍රියාකලාපය සහ එම අභියෝගාත්මක ප්‍රතිචාර හමුවේ, එවැනි මතයක සිට චීනය පිළිබඳව කටයුතු නොකළ යුතුය යන අදහසින් ප්‍රංශය සහ ජර්මනිය ක්‍රියා කරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත. නැගෙනහිර යුරෝපා රටවල් චීනය සම්බන්ධයෙන් වඩාත් විවෘත මනසකින් කටයුතු කරමින් සිටී. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යුරෝපා චාරිකාව ගෝලීය ආර්ථික ප්‍රවණතාවයේ එක් වැදගත් ලක්ෂණයක් මෙන්ම සංසිද්ධියක් බව ද දොඩංගොඩගේ මහතා සඳහන් කළේය.

ගෝලීය ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කිරීමට නම් වෙළඳ යුද්ධ වැනි දේ නතර කළ යුතුය. ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ දී ඇති වූ චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධයෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් ඇති විය. කොවිඩ් වසංගත අර්බුදයෙන් පසු ලෝක ආර්ථිකය මේ දක්වා සම්පූර්ණයෙන් සුව වී නොමැත. එම නිසා ගෝලීය ආර්ථික ශක්තිමත් භාවයට වෙළඳ හවුල්කාරීත්වයන් ඉතාම වැදගත් බව පිළිගත යුතුය. චීනය සහ ප්‍රංශය අතර ජනපතිවරුන්ගේ සාකච්ඡාවෙන් පසු ගිවිසුම් 18කට අත්සන් තබා තිබේ. විවිධ අභියෝග සමනය කර යුරෝපය හා ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමේ අඩිතාලම දැමීමට මෙන්ම ආර්ථික වැඩපිළිවෙලක් දියත් කිරීමට චීනයට හැකි වූ බව ගෝලීය විද්වතුන්ගේ විචාරයන්ගෙන් පැහැදිලි වන බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක ප්‍රසාද් දොඩංගොඩගේ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම