තම රටේ නිෂ්පාදන මත අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඇමරිකාව කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2024-05-14 20:54:24
Share with:

චීන නිෂ්පාදනවලට එරෙහිව ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන වාණිජ්‍ය අමාත්‍යාංශය දැඩි විරෝධය පළ කරයි. 

චීන භාණ්ඩවලට එරෙහිව අතිරේක තීරුබදු පැනවීම සඳහා ඇමරිකාව ක්‍රියාත්මක කරන අංක 301 වගන්තිය බලගන්වා වසර 4 කට පසු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵල වාර්තාව ඇමරිකාව අද (14) නිකුත් කර ඇත. අංක 301 වගන්තියට ඇතුළත් තීරුබදු යටතේ, චීනයෙන් ආනයනය කෙරෙන විදුලි මෝටර්රථ, ලිතියම් බැටරි, හා ප්‍රකාශ වෝල්ටීයතා බැටරි යන නිෂ්පාදන මත මෙවර අතිරේක තීරුබදු පනවන බව ඇමරිකාව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත්, ඊට තරයේ විරෝධය දක්වන බවත් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.  

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම සහ ඒවා මෙවලම් බවට පත්කර ගැනීම දේශපාලන කුමන්ත්‍රණයන් හි ප්‍රතිඵල යි. ඇමරිකාව සිය වැරදි ක්‍රියා පිළිවෙත වහාම නතර කර, අනිසි අතිරේක තීරුබදු ප්‍රතිපත්ති අහෝසි කිරීමට පියවර ගත යුතු බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියාසිටියේය. සිය අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම