චීන ජනාධිපතිවරයාට විශාල ආදර්ශයක් වූ Qi xin මහත්මිය
2024-05-12 17:29:42
Share with:

1999 වසරේ මාර්තු මාසයේ දවසක චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මව වන Qi xin මහත්මිය ඉහළ‍ පෙළේ නිලධාරීන් සඳහා වූ ආදර්ශ පාඨයක් පිටපත් කළා ය. “යට ඉන්න අය මට බිය මුසු ගෞරවය දක්වන්නේ මගේ සැරපුරුෂකම නිසා නොව මගේ අවංකකම නිසා ය. ජනතාව මා විශ්වාස කරන්නේ මගේ දක්ෂතාව නිසා නොව මා සාධාරණත්වයට මුල්තැන දෙන නිසා ය. නිලධාරියෙකු සාධාරණව ක්‍රියා කරන්නේ ‍නම් ජනතාව රැවටීම් නොකරති. නිලධාරියෙකු අවංක නම් ඔහු යට ඉන්නා අයගේ හෑල්ලුවට ලක් වන්නේ නැත.”යනුවෙන් චීනයේ මිං රාජවංශයේ සිට පැවත ආ එම ආදර්ශ පාඨයේ සඳහන් වී තිබේ. Qi xin මහත්මිය එම ආදර්ශ පාඨය පිටපත් කළේ තමන් හා තම පවුල එහි සාරය සැමවිටම හිතේ රඳවා ගැනීම සඳහා ය.

ෂී ජින් පිං උපන්නේ, හැදුණේ වැඩුණේ මෙම චරිතවත් මව සිටින පවුලේ ය. රජයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ බිරිඳක් වශයෙන් මෙන් ම මවක් වශයෙන් Qi xin මහත්මිය ෂී ජින් පිං ඇතුළු දරුවන් ළමා වියේ සිටම චාම් ජීවන රටාවකට හුරුපුරුදු කර තිබිණ. ඇය දරුවන්ට නිසි මඟපෙන්වීම් කර තිබුණේ වචනවලින් පමණක් නොව සිය ක්‍රියාවලින් ද කිව හැකි ය. Qi xin මහත්මිය සේවය කළ ආයතනය ගෙදරට දුරින් පිහිටීම හේතුවෙන් ඇයට බොහෝ අපහසුතා ඇති විය. එහෙත් ඇය ස්වාමිපුරුෂයා‍ගේ බලය යොදවා රැකියාව මාරු ‍කළේ නැත. ෂී ජින් පිං මහතාගේ පියා ළඟින් වසර 20ක් පුරා වැඩ කළ Zhang Zhigong මහතා කියා සිටියේ Qi xin මහත්මිය කවර දිනෙකවත් වරප්‍රසාද භාවිත නොකළ බවයි.

ෂී ජින් පිං මහතා විවිධ කාලවකවානුවල නායක තනතුරු රැසකට පත්වීමෙන් පසු Qi xin මහත්මිය විශේෂ පවුලේ රැස්වීමක් කැඳවා ගත්තා ය. ෂී ජින් පිං මහතා බාරගත් විෂය ක්ෂේත්‍රවල වාණිජ කටයුතුවල නිරත නොවන ලෙස එම රැස්වීමේදී ඇය සෙසු දරුවන්ගෙන් ඉල්ලා සිටියා ය. කාලයාගේ ඇවෑමෙන් ෂී ජින් පිං මහතා රටට හා කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙන ජනතාවගේ ගෞරවාදරය දිනාගත් නායකයෙකු බවට පත්ව සිටී. මව කියාදුන් දේවල් ඔහුට කිසිසේත් ම අමතක වී නැත. මවගෙන් ලැබුණු බලපෑම් එදා මෙන් ම අද ද ඔහු තුළ පවතී.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම