චීන ජනපතිගේ යුරෝපා සංචාරය පිළිබඳව චීන විදේශ ඇමතිගෙන් විග්‍රහයක්
2024-05-11 15:27:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යුරෝපා සංචාරය පිළිබඳව කරුණු විග්‍රහ කරයි.

පසුගිය 5 වැනිදා සිට 10වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන් හි නිරත විය. ඒ එම රටවල නායකයන්ගේ විශේෂ ඇරයුම් අනුව යි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වං යී මහතා ඒ සම්බන්ධයෙන් කරුණු විස්තර කළේය.

මෙම සංචාරයේ දී චීන - ප්‍රංශ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරට රාජ්‍ය නායකයන් එකඟතා රැසකට පැමිණි බව වං යී මහතා පැවසීය. මැදපෙරදිග තත්ත්වය, කෘත්‍රිම බුද්ධිය සහ එහි ගෝලීය පාලනය, ජෛව විවිධත්වය සහ සාගර සබඳතා මෙන්ම කෘෂිකාර්මික හුවමාරු සහ ඊට අදාළ සහයෝගිතා පිළිබඳ ඒකාබද්ධ නිවේදන හතරක් ද එහිදී නිකුත් කරනු ලැබීය.

සර්බියානු සංචාරයේ දී දෙරට රාජ්‍ය නායකයෝ, නවයුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා ප්‍රජාවක් ගොඩනගන බව ඒකමතිකව ප්‍රකාශ කළහ. එසේ ප්‍රකාශ කළ පළමු යුරෝපීය රට බවට සර්බියාව පත්ව ඇතැයි ද වං යී මහතා කියාසිටියේය.

චීන ජනාධිපතිවරයාගේ හංගේරියානු සංචාරයට අතිශය වැදගත්කමක් ලබා දුන් එරට ඒ සඳහා උපරිම අවධානයක් යොමු කළ බව වං යී මහතා පෙන්වා දුන්නේය. එම සංචාරය අවස්ථාවක් කර ගනිමින්, නව යුගයේ සෑමකල්හිම අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයක් සඳහා හංගේරියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද ඔහු පැවසීය.

මෙවර යුරෝපා සංචාරය තුළදී ෂී ජින්පිං ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සහ යුරෝපා කවුන්සිල සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග චීන ප්‍රංශ යුරෝපා ත්‍රෛපාර්ශ්වීය හමුවට එක්වූ බව වං යී මහතා ප්‍රකාශ කළේය. වත්මන් ලෝකයේ දැවැන්ත බල කණු දෙකක්, දැවැන්ත වෙළඳපොල දෙකක් හා දැවැන්ත ශිෂ්ටාචාර දෙකක් වශයෙන්, චීන-යුරෝපා සම්බන්ධතාවය ලෝක සාමය හා ස්ථාවරත්වයටත්, සංවර්ධනය හා සමෘද්ධියටත් දැඩි ලෙස බලපාන්නේ යැයි එහිදී හෙතෙම අවධාරණය කළ බව වං යී මහතා කියා සිටියි.

පසුගිය දෙසැම්බර් මාසයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම රැස්වීමට එක්වූ ෂී ජින්පිං ජනාධිපතිවරයා නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ඓතිහාසික ජයග්‍රහණ හා මහඟු අත්දැකීම් සම්පිණ්ඩනය කර නව ගම‍නේදී චීන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගය පිළිබඳවද උපදෙස් දී තිබිණ. මෙවර යුරෝපා සංචාරය එම රැස්වීමේ ජීවගුණය හා ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ සාර්ථක භාවය ප්‍රගුණ කිරීමකි. සාමය, සමගිය සහ සහයෝගතාව පිළිබඳ බලවත් හඬක් එම සංචාරය මගින් නඟා ඇති අතර දැවැන්ත රටක, දැවැන්ත පක්ෂයක නායකයාගේ ගෝලීය දෘෂ්ටිය, සමස්ත මානව හැඟීම හා යුගයේ වගකීම ද මනාව පිළිබිඹු කර තිබේ. මෙවර සංචාරය මගින්, චීනය, ජාත්‍යන්තර බලපෑම් ශක්තිය, නවෝත්පාදන මෙහෙයවීම් හැකියාව සහ සාධාරණ බව මෙන්ම යුක්තිය පිළිබඳ මුලපිරුම් ජීවගුණය ඇති වගකීම්‍සහගත දැවැන්ත රටක් බව මැනැවින් විදහා දක්වා ඇතැයි ද වං යී මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම